බ්‍රසීල – මොරොක්කෝ ගැටුම සම වෙයි, ඕස්ට්‍රේලියාව ඓතිහාසික ජයක් ලබයි!

9
Fifa 2026 world cup day 03

2026 පාපන්දු ලෝක කුසලානයේ තෙවැනි දිනයට අදාළ තරග හතරක් අද (14) අලුයම පටන් ක්‍රියාත්මක වුනා.

මෙම තරග අතරින් වැඩිම අවධානය යොමු වූ තරගය ලෙස බ්‍රසීල – මොරොක්කෝ තරගය හඳුන්වා දිය හැකි. එම තරගයට අමතරව තවත් කතාබහට ලක් වන අන්දමේ තරග කිහිපයක් ද අද ක්‍රියාත්මක වුනා.

ස්විස්ටර්ලන්තය සහ කටාර්

පසුගිය ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරූ කටාර් දේශය විසින් අද දිනයේ දී සිය පළමු ලෝක කුසලාන ජය පැරදුමෙන් තොර තරගය නිමා කිරීමට සමත් වුනා.

2022 ලෝක කුසලානයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට සමත් නොවූ කටාර් දේශය, ලෝක කුසලාන ඉතිහාසයේ එකම තරගයක් වත් ජය නොගත් එකම සත්කාරක රට ලෙස ද වාර්තා අතරට එක් වුනා.

තරගයේ 17 වැනි මිනිත්තුවේ දී Breel Embolo විසින් ස්විස්ටර්ලන්තය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් අනතුරුව දෙපිළම ගෝල ලබාගැනීම වෙනුවෙන් උත්සාහ දැරූ නමුත්, ඒවා අසාර්ථක වුනා.

කෙසේ වෙතත් තරගයේ 90+4 මිනිත්තුවේ දී ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Miro Muheim විසින් කටාර් දැළ තුළට පන්දුව යොමු කරමින් Own Goal එකක් වාර්තා කිරීමත් සමඟ කටාර් දේශයට තරගය සම මට්ටමින් අවසන් කර ගැනීමේ අවස්ථාව හිමි වුනා.

ඒත් සමඟම කටාර් දේශය ලෝක කුසලාන ලකුණු සටහනක් තුළ තමන් ලැබූ පළමු ලකුණ ලැබීමට ද සමත් වුනා.

බ්‍රසීලය සහ මොරොක්කෝව

මෙවර ලෝක කුසලානයේ පළමු තීරණාත්මක තරගය ලෙස මෙය සැලකිය හැකි. දැනට ලොව සිටින වඩාත් තරගකාරී ම සහ තර්ජනාත්මක කණ්ඩායමක් ලෙස මොරොක්කෝව සැලකිය හැකි අතර, බ්‍රසීලය ලෝක පාපන්දුවේ විශිෂ්ටතම කණ්ඩායම ලෙසයි සැලකුම් ලබන්නේ.

කෙසේ වෙතත් අද අලුයම මොරොක්කෝව ඉදිරියේ බ්‍රසීල විශිෂ්ටත්වය දියාරූ වී ගිය බව නම් සඳහන් කළ යුතුමයි.

තරගය ආරම්භයේ සිටම මොරොක්කෝව විසින් බ්‍රසීලයට එරෙහිව ඉහළ අභියෝගයක් ලබා දුන් අතර, තරගයේ 21 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝවේ Ismael Saibari විසින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

ඉන් පසුව බ්‍රසීලය මෙම තරගය සම කිරීම වෙනුවෙන් අවශ්‍ය ගෝලය සොයමින් සිටි අතර, එක්වරම ක්‍රියාත්මක වූ Vinicius Junior විසින් තරගයේ 32 වැනි මිනිත්තුවේ දී බ්‍රසීලය වෙනුවෙන් විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.

එතැනින් පසුව කණ්ඩායම් දෙකම නැවත ගෝල වාර්තා නොකල අතර, තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.

කෙසේ වෙතත් සමස්ත තරගය දෙස බැලූ කළ බ්‍රසීලය තරමක් පහතට ඇද වැටී ඇති බව පැහැදිලි වනවා, එමෙන්ම තවමත් ඔවුන් 1934 වසරෙන් පසුව ලෝක කුසලානයක සිය පළමු තරගය පරාජය නොවී සිටීමේ වාර්තාව රැක ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්.

හයිටි සහ ස්කොට්ලන්තය

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දක්නට ලැබෙන වඩාත් උණුසුම් ම කාණ්ඩය ලෙස C කාණ්ඩය සඳහන් කළ හැකි අතර, මෙහි දී ලෝක ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්ථානයේ සිටින බ්‍රසීලය මෙන්ම හත් වැනි ස්ථානයේ සිටින මොරොක්කෝව ද තරග වදිනවා.

මේ හේතුවෙන් ස්කොට්ලන්ත සහ හයිටි කණ්ඩායම්වලට ඉදිරි වට සඳහා පිවිසීමට ඉහළ තරගයක් ලබා දීමට සිදු වන අතර, අද ස්කොට්ලන්තය විසින් එම අවස්ථාව ඉහළින් ම ජය ගැනීමට සමත් වුනේ හයිටි සමඟ තරගය 1-0ක් ලෙස ජය ගනිමිනුයි.

1998 ලෝක කුසලානයෙන් පසුව නැවත මෙවර ලෝක කුසලාන වරම් ලැබූ ස්කොට්ලන්තය වෙනුවෙන් වසර 28කට පසුව ලෝක කුසලාන ගෝලයක් වාර්තා කිරීමේ ගෞරවය John McGinn හට හිමි වූ අතර, මෙය ස්කොට්ලන්තය විසින් වසර 36කට පසුව ලැබූ පළමු ලෝක කුසලාන ජය ලෙස ද වාර්තා අතරට එක් වුනා.

මේත් සමඟින් ම ස්කොට්ලන්තය විසින් C කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු ස්ථානයට ද පත් වුනා.

ඕස්ට්‍රේලියාව සහ තුර්කිය

2002 ලෝක කුසලානයේ දී තෙවැනි ස්ථානය දිනා ගත් තුර්කිය විසින් නැවත ලෝක කුසලාන තරගයක් ක්‍රීඩා කළේ අද දිනයේ දී වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙහි දී ඕස්ට්‍රේලියාව විසින් ඔවුන්ට තරමක දරුණු සංග්‍රහයක් ලබා දීමට කටයුතු කළා.

තරගයේ 27 වැනි සහ 75 වැනි මිනිත්තු වල දී ඕස්ට්‍රේලියාව විසින් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තුර්කිය පරාජය කිරීම සඳහා ඉහළ ආක්‍රමණයක් දියත් කළ අතරම, තුර්කි ආක්‍රමණය මැඩ පැවැත්වීමට ද සමත් වුනා. මෙහි දී ඕස්ට්‍රේලියානු දැල් රකින්නා වන Patrick Beach විසින් රැක ගැනීම් (Saves) 08ක් සිදු කිරීමට සමත් වුනා.

එමෙන්ම මෙය ඕස්ට්‍රේලියාව විසින් තුර්කියට එරෙහිව ලද පළමු ජාත්‍යන්තර මට්ටමේ ජය වන අතර, මීට පෙර ඔවුන් මුණ ගැසුණු අවස්ථා දෙකේ දීම තුර්කිය තරග ජය ගැනීමට සමත් වුනා.

මේ අයුරින් අද දිනයට අදාළ තරග හතර නිමාවට පත් වනවා.

කෙසේ වෙතත් අද රාත්‍රියේ ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 10.30ට ජර්මනිය සහ කුරසාඕ තරග වැදීමට නියමිතයි.

ඊට අමතරව,

  • අලුයම 1.30 – නෙදර්ලන්තය සහ ජපානය
  • උදෑසන 4.30 – අයිවරි කෝස්ට් සහ ඉක්වදෝරය
  • උදෑසන 7.30 – ස්වීඩනය සහ ටියුනීසියාව
  • රාත්‍රී 9.30 – ස්පාඤ්ඤය සහ Cabo Verde

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>