චෝදනාවන්ට හැකියාවෙන් පිළිතුරු දුන් කෙටිදුර ශූරයා

247

මෙරට කෙටිදුර ධාවනයේ නව යුගයක් ආරම්භ කළ ශෙහාන් අඹේපිටියගෙන් පසුව මෙරට කෙටිදුර ධාවන පිටියේ ආධිපත්‍ය එලෙසම රඳවා ගනිමින් දේශීය මලල ක්‍රීඩා පිටියේ මෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා පිටියේ ද සිය නාමය ඉහළින්ම සටහන් කිරීමට සමත් වූ ඔහු නමින් හිමාෂ ඒෂාන්.

1995 වසරේ දී මෙරට ජාතික ක්‍රීඩාවන්ට අමිල සේවයක් ඉටු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කෙරූ කළුතර දිස්ත්‍රික්කයේ උපත ලැබූ හිමාෂ සිය ගම් ප්‍රදේශය වූ දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලෙන් අධ්‍යාපන ගමන ආරම්භ කරන්නට විය.

එම පාසලේ අධ්‍යාපනය ලබන අතරවාරයේ දී 2004 වසරේ පාසලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ මීටර් 75 යන ඉසව්වන්හී ඉහළ දස්කම් දක්වමින් ජයග්‍රහණය හිමිකරගන්නට ඔහු සමත් විය.

එම ජයග්‍රහණයෙන් පසුව කොට්ඨාස සහ කලාප මලල ක්‍රීඩා තරගාවලිවල ද ඉහළ දස්කම් දක්වමින් ජයග්‍රහණය ලබා ගන්නට හිමාෂ සමත් වීම නිසාවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසලක් වන කළුතර විද්‍යාලයට යෑමේ අවස්ථාව හිමාෂට හිමි විය.

නව පාසල හා එක්වීමෙන් අනතුරුව 2010 වසරේ දී චමින්ද පෙරේරා ගුරු මහතා සමඟ එක්වෙමින් සිය ක්‍රීඩා දිවියේ ඉදිරි ගමන අරඹන්නට විය.

චමින්ද පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ ඉතා ඉක්මනින්ම හැකියාවෙන් දියුණු කර ගත් හිමාෂ 2012 වසරේ මෙරට දී පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගි වීමට වරම් දිනා ගත් අතර එම වසරේම මීටර් 100 ඉසව්ව ජය ගනිමින් ජාතික ශූරයා බවට පත්වීමට ද හිමාෂ සමත් විය.

නමුත් එම ජයග්‍රහණයේ සතුට සමරා අවසන් වෙන්නටත් පෙර හිමාෂ තහනම් උත්තේජක චෝදනාවන්ට වැරදිකරුවෙකු වීම නිසාවෙන් ඔහුට මාස 09ක තරග තහනමකට යටත් වීමට සිදු විය.

සිය ක්‍රීඩා දිවියට කළු පැල්ලමක් එක්කළ එම සිදුවීම පිළිබඳව හිමාෂ ThePapare.com සමඟින් අදහස් දැක්වුවේ මෙලෙසින්,

“2012 දී මම මීටර් 100 ඉසව්ව තත්පර 10.50ක කාලයකින් අවසන් කරලා කනිෂ්ඨ වාර්තාව සම කරන්නට ද සමත් වුනා, ඒත් මට හැමෝම කිව්වේ මම ඒ වාර්තා කරපු කාලය වාර්තා කරන්න සමත්වුනේ තහනම් උත්තේජක නිසා කියලා.

ලංකාවේ හිටපු ගොඩක් පුහුණුකරුවෝ වගේම සමහර ක්‍රීඩකයනුත් ඒකට විරුද්ධ වුනා, මම ඒකෙදි සැළුණේ නැහැ ඇත්තටම. මගේ පුහුණුකරු මාත් එක්ක ඒ ප්‍රශ්නෙදි හිටියා. මගෙයි පුහුණුකරුගෙයි තිබ්බ එකම අභිප්‍රාය මේකෙන් අපි ගොඩ යන්නේ කොහොමද කියන එකයි.”

තරග තහනම අවසන් වීමෙන් පසු නැවත වරක් ක්‍රීඩා පිටියට පැමිණි හිමාෂ හට බොහෝ අපහස දරා ගනිමින් සිය ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට සිදු වූ අතර ඔහුට විශාල ශක්තියක් වූ ඔහුගේ පුහුණුකරු චමින්ද පෙරේරා ඔහුගේ අනාගතයට අවශ්‍ය මාර්ගය පෙන්වන්නට විය.

හිමාෂ ඒෂාන් පිළිබඳව සහ ඔහුගේ තහනම පිළිබඳව ඔහුගේ පුහුණුකරු වූ චමින්ද පෙරේරා මහතා අදහස් දැක්වුවේ මෙලෙසින්,

“ඒෂාන්ව මට හම්බුනේ 2004/05 වසරවල දී තමයි, එතකොට එයා වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයට යටතේ ක්‍රීඩා කරද්දී පානදුරේ දී තමයි මුණගැහුනේ. පස්සේ එයාගේ සහතික අරගෙන එන්න කියලා මම යෝජනා කළා.

ඒ වගේම මගේ වේග ධාවකයන්ට සුදුසු යෝග්‍යතා පරීක්ෂණ වගයක් තියෙනවා, ඒක කරලා බලන්න එන්න කියලා ඒවට මුහුණ දෙනෙකොට දැනුණා කවදා හරි දවසක ලංකාවට ගොඩක් වටින ක්‍රීඩකයෙක් කියලා.

හිමාෂගේ තහනම් උත්තේජක ගැටලුවේ දී මම කිව්වා මේක පාවිච්චි කරන්න වෙළඳපොලෙන් මම ගෙනල්ලා දුන්නේ, එයා ඒක පාවිච්චි කළේ මම දුන්නේ නිසා කියන එක. ඒ සිදුවීමත් එක්ක එයත් එක්ක ලොකු බැදීමක් තිබ්බා.”

තමන් අතින් සිදු වූ වරදට දඬුවම් විදීමෙන් අනතුරුව ඔහු වෙත එල්ල වූ චෝදනා අපහසයන්ට සිය හැකියාවෙන් පිළිතුරු ලබා දුන් හිමාෂ කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ කෙටිදුර වාර්තා රැසක්ම බිඳ හෙළමින් දිනෙන් දින ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

එම දස්කම් නිසාවෙන් මෙරට නියෝජනය කරමින් 2013 වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට වරම් ලද හිමාෂ එහි දී මීටර් 100 ලෝකඩ පදක්කමත්, මීටර් 200 සහ 100X4 සහය දිවීමේ රන් පදක්කම් ඇතුළුව පදක්කම් ත්‍රිත්වයක් මෙරටට දිනා දීමට සමත් විය.

හිමාෂ ඒෂාන් (දකුණේ සිට පළමුව)

පසුව 2014 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව සඳහා සහභාගි වූ හිමාෂ එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.49ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 200 තරගයේ දී ජාතික කනිෂ්ඨ වාර්තාව ද බිඳ හෙළීමට ඔහු සමත් විය.

එතැන් පටන් ජාතික කෙටිදුර ධාවන පථය සිය නාමය යටතට ගැනීමට හිමාෂ සමත් වූ අතර ඔහුට චෝදනා කළ අයවලුන්ගේම අත්පොළසන් මැද ඔහු වසර ගණනාවක්ම නොකඩවා ජාතික කිරුළ රැකගනීමට ද සමත් විය.

එමෙන්ම මෙරට මලල ක්‍රීඩාවට විශාල සම්පත් රැසක් දායාද කළ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංචිතය සමඟින් එක් වූ හිමාෂ, යුද හමුදා මලල ක්‍රීඩා පිටියේ ද ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට ද හැකි විය.

දේශීය පිටියේ දස්කම්වලට අමතරව Singapore Open Championship, Asian Grand Prix Thailand, Vietnam open athletic championship වැනි ජාත්‍යන්තර තරගාවලිවල ද කැපී පෙනෙන දස්කම් දක්වමින් මෙරටට ජයග්‍රහණ රැසක් ගෙන ඒමට හිමාෂ සමත් විය.

එලෙස සියලු බාධක ජය ගනිමින් ඉදිරියට ගිය හිමාෂගේ ක්‍රීඩා දිවියේ තවත් වැදගත් සංධිස්ථානයක් සටහන් කරමින් ආසියානු තලය ඉලක්ක කරගනිමින් නිර්මාණය කළ ශෙහාන් අඹේපිටියගේ නායකත්වයෙන් යුත් මීටර් 100X4 සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වීමට වරම් හිමි විය.

එතැන් පටන් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වූ ශෙහාන් අඹේපිටියගේ ද මඟපෙන්වීම යටතේ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කළ හිමාෂ ඇතුළු කණ්ඩායම 2015 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ 100X4 සහය දිවීමේ ඉසව්ව තත්පර 39.28ක කාලයකින් අවසන් කරමින් වසර ගණනාවක් පැරණි ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

හිමාෂ ඒෂාන් (වමේ සිට දෙවනුව) සහය දිවීමේ කණ්ඩායම සමඟ

එම ජයග්‍රහණයෙන් පසු සිය ක්‍රීඩා දිවියේ විශාලතම සංධිස්ථානයක් සටහන් කරමින් 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ හිමාෂ එහි මීටර් 100 තත්පර 10.28ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වීමට සමත් විය.

ඒ පිළිබඳව හිමාෂ ThePapare.com සමඟින් අදහස් දැක්වුවේ මෙලෙසින්,

“ඔව් මම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙලා හිටියා 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා වෙන්න මට අවස්ථාව තියෙනවා කියලා. මොකද මම ලංකාවේ පැවති තේරීම් තරගාවලියේ දී 10.36ක දකුණු ආසියාවේ වේගවත්ම කාලය වාර්තා කරලා තිබ්බේ.

ඉතින් මම මෙරටින් පිටත් වෙද්දී හිතාගත්තා රන් පදක්කම මගේ අතේ තියෙනවා, මම හිතුවේ වසර 16 පැරණි ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යන්නේ කෙහොමද කියලයි. මම ඉතින් ඒ දේ කොහොමහරි ඒ දවසේ කළා. පොඩි අතපසුවීමක් වුනා තරග ආරම්භයේ දී ඒත් මම සතුටට පත්වනවා මම 10.28ක කාලයක් වාර්තා කරන්න ලැබුණ එක ගැන.”

හිමාෂ ඒෂාන් (මැද) 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර දී

එම ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ ක්‍රීඩා දිවියට තවත් සවියක් ලැබෙමින් ජැමෙයිකාවේ තරග පුහුණුවක් කරා යෑමට හිමාෂ හට අවස්ථාව හිමිවන අතර එහි දී සිය දස්කම් තරමක් ඉහළ නංවා ගැනීමට සමත් වන ඔහු ජැමෙයිකාවේ දී පැවති තරගයක් අතරතුර දී ලෝක ශූරයන් හා ගැටෙමින් තරගවැදී ලෝක ශූරයෙකු වූ යොහාන් බ්ලේක් පරාජය කිරීමට ද සමත් විය.

තවත් විශේෂාංග ලිපි:

පසුව 2018 වසරේ දී සිය කණ්ඩායම සමඟින් එක්වූ හිමාෂ ඇතුළු කණ්ඩායම 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසයේ මුල්ම වරට 100X4 සහය දිවීමේ අවසන් වටයට තේරී පත්වීමට සමත් වන අතර තරගය තත්පර 39.08ක කාලයකින් අවසන් කරමින් නැවත වතාවක් ජාතික වාර්තාව බිඳ හෙළීමට ද ඔවුන්ට හැකි විය.

එලෙස කෙටිදුර ධාවන පිටියේ ඉහළ දස්කම් දක්වන හිමාෂ 2019 වසරේ පැවති මලල ක්‍රීඩා තේරීම් තරගවල දී මීටර් 100 ඉසව්ව තත්පර 10.22ක කාලයකින් අවසන් කරමින් ජාතික සහ දකුණු ආසියානු වාර්තා ද බිඳ හෙළීමට සමත් විය.

පසුව 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවති 2019 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.49ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අසුන වෙන් කර ගැනීමට හිමාෂට හැකි විය.

හිමාෂ ඒෂාන් (මැද) 2019 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේදී

එම ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසු පැවති 56 වැනි යුද හමුදා ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වට සහභාගි වූ හිමාෂ තරගය තත්පර 10.62ක කාලයකින් අවසන් කිරීමට සමත් වූවත්, යුපුන් අබේකෝන්ට දෙවැනි වෙමින් තරගය නිමා කිරීමට සිදු වන්නේ ඔහුගේ පසුබෑම පිළිබඳව ඉඟි සපයමිනි.

නමුත් එම පරාජය අමතක කොට 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා හිමාෂ නේපාලයේ කත්මන්දු නුවරට පිටත් වන්නේ සිය දකුණු ආසියානු කිරුළ රැකගැනීමේ අදිටන සිතෙහි තබා ගනිමිනි.

තරගාවලියේ මීටර් 100 මූලික තරග ඉතා පහසුවෙන් ජය ගත් හිමාෂ අවසන් තරගයේ දී ද ආරම්භයේ සිටම හොඳ සටනක් දීමට සමත් වෙමින් 10.50ක කාලයකින් ඉසව්ව අවසන් කිරීමට සමත් වූවත් තත්පර 0.01ක කාලයකින් මාලදිවයින් ක්‍රීඩකයාට දෙවැනි වන්නට ඔහුට සිදු විය.

හිමාෂ ඒෂාන් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරතුරදී

එම පරාජෙයන් පසුව සහය දිවීමේ වගකීම තම සියතට ගත් හිමාෂ සිය කණ්ඩායම හා එක්වෙමින් තරගාවලියේ මීටර් 100X4 සහය දිවීමේ තරගය තත්පර 39.14ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එම තරගාවලියෙන් පසු පැමිණි කොරෝනා වසංගත තත්වය නිසාවෙන් නැවත කිසිදු තරගාවලියකට සහභාගි වීමට හිමාෂ හට අවස්ථාව හිමි නොවූ අතර ඔහු විසින් පිහිටුවා තිබූ ජාතික සහ දකුණු ආසියානු වාර්තා ද පසුගිය දා යුපුන් අබේකෝන් විසින් බිඳී හෙළන ලදි.

අවසන් කාලසීමාවේ දී තරමක පසුබෑමකට ලක් වීමට හිමාෂට සිදු වූවත් සෑමවිටම කැපවීම තුළින් සිය දක්ෂතා ඔපමට්ටම් කරගන්නා හිමාෂා මෙරට කෙටිදුර ධාවනය ලෝක මට්ටමට ගෙන යා හැකි ඉතා ධෛර්යවන්ත ක්‍රීඩකයෙකි.

ක්‍රීඩා දිවියේ දී ඔහුට පැමිණෙන බාධක සියල්ල ජය ගනිමින් නැවතත් සිය රිද්මයට පැමිණ මෙරට මලල ක්‍රීඩාවට ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබා දීමට හිමාෂට අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

“අප සිහින කරා ළඟා වීමට නම්
කැපකිරීම් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා” – හිමාෂ ඒෂාන්
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<