27 වසරක ජාතික වාර්තාවකට හිමිකම් කී ප්‍රවීණයා

153
Sri Lankan Former Athlete
Image Courtesy: Saman Kumara Gunawardane Facebook

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවට අතීතයේ අමිල සේවාවක් ඉටු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට වර්තමාන පරපුර වෙත ඉඩ ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. 

එම ක්‍රීඩකයන් පිළිබඳව තොරතුරු කිසිදු ග්‍රන්ථයක හෝ සඳහන් වෙන අවස්ථා ඉතාමත් අඩු බැවින් සහ ඔවුන්ගේ දස්කම් දුටු පිරිස වර්තමානයේ දී සොයා ගැනීමට අපහසු නිසාවෙන් කාලයත් සමඟින් ඔවුන්ගේ නාමයන් මෙරට ප්‍රේක්ෂකයන්ගේ සිත තුළින් මැකී යයි. 

එවැනි අතීතයේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී සුවිශේෂී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හඳුනාගන්නට හැකි.

මෙරට මලල ක්‍රීඩාවට සුවිශේෂී ක්‍රීඩකයන් රැසක් දායාද කෙරූ සුන්දර අවිස්සාවේල්ල ප්‍රදේශයේ තල්දූව විද්‍යාල පාරේ එවකට “එල්මගරි නිවස” ලෙසින් හැඳින්වූ නිවෙස් උපත ලැබූ මොහු නමින් ඉලුක්පිටිය මුදියන්සේලාගේ දොන් මාෂල් පෙරේරායි.

මූලික අධ්‍යාපනය වෙනුවෙන් අවිස්සාවේල්ල සාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වූ මාෂල් පෙරේරා එම විදුහලේ ගුරුවරුන්ගේ උදහසට ලක් වූ කරදරකාරී සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු විය.

ඔහුගේ පාසල් වියෙහි හොඳම සගයා වූ, මෙරටින් බිහි වූ තවත් සුවිශේෂී ක්‍රීඩකයෙකු වන සෑම් ජෝසප් සමඟින් එක්ව සෑම විටම ගුරුවරුන් හට හිසරදයක් ගෙන දෙන වැඩ කළ මොවුන් දෙදෙනා පාසල් කාලයේ වැඩි වේලාවක් ගත කළේ පන්ති කාමරයෙන් පිටතය.

පාසල් වියේ සිටම අති ක්‍රියාකාරී සිසුවෙකු වූ මාෂල් පෙරේරා ක්‍රීඩාවේ ද සහජ දස්කම් දක්වන්නෙකු වූ අතර ඔහු සිය මලල ක්‍රීඩා ගමන අරඹන්නේ එවකට සිටි ප්‍රවීණතම පුහුණුකරුවෙකු ක්ලීටස් සුරවීර මහතාගේ ගුරුහරුකම් යටතේය.

ක්ලීටස් සුරවීර මහතාගේ ගුරුහරුකම් ලබමින් ඉතා ඉක්මනින් සිය ක්‍රීඩා හැකියාව ඉහළ නංවා ගත් මාෂල් පෙරේරා සිය ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂයක් සටහන් කරමින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙත ඇතුළත් වීමේ වරම් හිමිකර ගන්නේය.

50 දශකය අගභාගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහි දී මීටර් 110 කෙටිදුර කඩුලු පැනීමේ ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වන අතර ඔහු විසින් එම ඉසව්වේ සමස්ත ලංකා කිරුළ ද කිහිපවරක්ම දිනා ගැනීමට සමත් විය.

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව 60 දශකය ආරම්භයේ දී එවකට රාජකීය ගුවන් හමුදාව වෙත එක්වීමට තීරණය කළ මාෂල් පෙරේරා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ AS ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මලල ක්‍රීඩාව ඉදිරියට කරගෙන යාමට තීරණය කරන ලදි.

එම කාලය තුළ දී සිය හැකියාවන් ඉතාමත් ඉක්මනින් වැඩි දියුණු කර ගත් මාෂල් පෙරේරා 1960 වසරේ දෙසැම්බර් මස 03 වැනිදා මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 15.6ක කාලයකින් අවසන් කරමින් මුල්ම ජාතික වාර්තාව පිහිටුවීමට සමත් විය.

එතැන් පටන් එම ඉසව්ව සිය ආධිපත්‍යට නතුකර ගැනීමට සමත් වූ මාෂල් පෙරේරා 1961 වසරේ නොවැම්බර් මස 04 වැනිදා පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී එයට සහභාගි වූ විදෙස් ක්‍රීඩකයන් පවා අභිබවා යමින් මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 15.4ක කාලයකින් අවසන් කිරීමට සමත් වූයේ එම ඉසව්වේ ජාතික වාර්තාව නැවත වරක් අලුත් කරමිනි.

තවත් විශේෂාංග ලිපි:

එවකට එම ඉසව්ව නියෝජනය කරමින් දස්කම් දැක්වූ විජිත විජේසේකර, මාෂල් පෙරේරා හට ඉතාමත් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර 60 දශකය මුල් භාගයේ දී ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රබල සටන පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය ද යොමු විය.

එනමුත් විජිතගෙන් ලද අභියෝගය සිය තරග කාලය දියුණු කරගැනීමට මහත් පිටිවහලක් කර ගත් මාෂල් පෙරේරා නැවත වරක් 1964 වසරේ මාර්තු මස 31 වැනිදා මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 15.2ක කාලයකින් අවසන් කරමින් ඔහුව විසින්ම පිහිටවූ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

ඉන්පසුව 1964 ජූලි මස 19 වැනිදා එම ඉසව්ව තත්පර 15.1 කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව නැවත වරක් බිඳ හෙළීමට සමත් වූ ඔහු එම වසරේම නොවැම්බර් මස 08 වැනිදා මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 15.1ක කාලයකින් අවසන් කරමින් ඔහුගේම ජාතික වාර්තාව සමකිරීමට ද සමත් විය.

වසර ගණනාවක් මීටර් 110 කෙටිදුර කඩුලු පැනීමේ ඉසව්වේ ආධිපත්‍ය පැතිර වීමට සමත් වූ මාෂල් පෙරේරා ඉතා විශිෂ්ට ජයග්‍රහණ රැසකට උරුමකම් කීමට සමත් වූ අතර 1964 වසරේ දී ඔහු විසින් පිහිටවූ ජාතික වාර්තාව වසර 27ක් ගතවන තුරු බිඳ හෙළීමට කිසිවෙකුට හැකි වූයේ නැත.

සිය ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව මෙරට අතහැර කැනඩාවේ වාසයට පිටත් වූ එතුමා මීට වසර කිහිපයකට පෙර අවාසනාවන්ත ලෙස අපගෙන් සමුගත්ත ද එතුමා මෙරට මලල ක්‍රීඩාවෙහි තැබූ වාර්තාවන් සෑමදාම නොමැකී පැවතෙනු ඇත.

මාෂල් පෙරේරා පිළිබඳව තොරතුරු උපුටා ගනු ලැබේ Saman Kumara Gunawardhana මහතාගේ Facebook ගිණුමෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<