ජිම්නාස්ටික් අතහැර රිටි පැන්න “දිරිමත් කෙල්ල”

305

98 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ දී රිටි පැනීමේ කාන්තා ඉසව්වේ දී සචිනි පෙරේරා රන් පදක්කම හිමි කර ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි. තවමත් 22 හැවිරිදි වියේ පසුවන සචිනි ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජන කරමින් මේ තරගාවලිය හා එක් වුවාය.

ලැබූ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මේ වෙනුවෙන් විශාල ලෙස මහන්සි වුනා. කොරෝනා තත්ත්වය හේතුවෙන් පුහුණුවීම් කටයුතු හරි ආකාරයෙන් පවත්වා ගෙන යන්න බැරි වුනා. සුගතදාස ක්‍රීඩාංගණය පවා වහල තිබුණේ. මේ නිසා පුහුණුවීම් කටයුතු කළේ සනත් ගුණරත්න සර්ගෙ ගෙදර තිබුණ මෙට්ට දෙකක් දාගෙන ඒක උඩට පැනලා. වැඩිය ඉඩක් තිබුණ තැනකත් නෙමේ පුහුණුවිම් කළේ. පියවර 7-8ක් විතර තමයි දුවන්නත් තිබුණේ. ඒත් අපි අපේ පුහුණුවීම් කටයුතු ඉතා උනන්දුවෙන් කළා. මම හිතන්නේ ඒකෙ ප්‍රතිඵල තමයි මේ. මේ වෙනුවෙන් අපිටත් වඩා මහන්සි වුනේ ගුණරත්න සර්. මේ ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය සර්ට අයිති වෙන්න ඕන” සචිනි ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

ඇය මෙවර තම ඉසව්වේ දී මීටර් 3.56ක උස තරණය කළා. ඊට පෙර එහි වාර්තාවේ හිමිකාරීත්වය රැඳී තිබුණේ යාපනය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කළ අනීතා ජෙගදීස්වරන්ට. ඇය 2018 වසරේ දී මීටර් 3.55ක උසක් පැන තිබුණා.

මේ මීට් එකේ දී යමක් කරන්න ඕන කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒත් මේ තරම් ඉක්මනට මේ තරමින් මේ ඉසව්ව අවසන් කිරීමට හැකි වේවි කියල හිතුවේ නැහැ. විශේෂයෙන්ම ජාතික වාර්තාවකට යන්න පුළුවන් වෙයි කියල මුලින් හිතුවේ නැහැ. පුහුණුවිම් කළේ පරණ පුරුදු කැඩුණ රිටෙන්. අවසානයේ දී තරග කළෙත් ඒ රිටෙන්. මොකද ඒකට මම හුරුවෙලා හිටියේ. ඒක අතහැරියෙ නැහැ. කොහොම හරි තරගයේ පාලනය මගේ පැත්තට බර වෙද්දී මට අවශ්‍ය වුනා තව තවත් ඉහළ යන්න. ඒ වෙනුවෙන් උපරිම දේවල් කළා” සචිනි නැවත පැවසුවා.

සචිනි, රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තාවක් තැබුවත් ඇය පෙර පදක්කම්ලාභී ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්. ඇය මේ සඳහා යොමුවෙන්නේ මීට අවුරුදු 3කට පමණ ඉහත දී. ඒ සනත් ගුණරත්න මහතාගේ පුහුණුකාරිත්වයත් සමඟ එක්වෙමින්.

සචිනි මට හමුවෙන්නේ එයා ජිම්නාස්ටික් පුහුණුවීම්වල නිරත වෙමින් සිටිද්දී. එයාගෙ යෙහෙළියකුත් ඒ වෙද්දී මගේ යටතේ පුහුණුවිම්වල යෙදුණා. ඇයත් සමඟ ආ සචිනි මට කිව්වා රිටි පනින්න ආසයි කියලා. මම එන්න කිවුවා. ඇවිත් දින කිහිපයකින්ම ඇයගේ ලොකු වෙනසක් මම දැක්කා. ඒ වගේම සචිනි, ජිම්නාස්ටික් හදාරමින් සිටි නිසා මට විශ්වාසයක් තිබුණා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා” සනත් ගුණරත්න මහතා  ThePapare.com සමඟ පැවසුවා.

සචිනිගේ ඒ ගමන නතර වෙන්නේ ජාතික ශූරිය පමණක් නොවේ ජාතික වාර්තාවේ ද හිමිකාරීත්වය ඇය සතු කර ගනිමින්. නමුත් සචිනිගේ මේ කෙටි ගමන ලෙහෙසි පහසු වී නැහැ කියලයි පුහුණුකරු ගුණරත්න මහතා පැවසුවේ. පුහුණුවීම් වැඩි හරියක් තිබුණේ ජාඇල. ඒ ගුණරත්න මහතා පදිංචිව සිටියේ ජාඇල නිසා. සචිනිගේ පදිංචිය පන්නිපිටිය. දිනපතා පන්නිපිටිය – ජාඇල යන එක සචිනිට වෙහෙසකර ගමනක්. මේ නිසා සචිනි ජාඇලට කිට්ටුව බෝඩිමක නතර වෙනවා.

එහෙම වුනත් සචිනිට ඒකත් දිගින් දිගටම කරගෙන යන්න බැරි මට්ටමේ තිබුණේ. සචිනිගේ පියා කේ. එස්. ඒ. ඩී. පෙරේරා, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අම්මා ඒ. සී. මල්ලිකා ගෘහණියක් ලෙසින් ගෙදර දොරේ වැඩ කටයුතු කළා. ඇයට පසන් පෙරේරා නමින් යුත් වැඩිමල් සහෝදරයෙක් ද සිටියා. මේ සියලු දෙනා යැපුණේ සචිනිගේ පියාගේ රැකියාවෙන්.

සචිනි අවස්ථා කිහිපයක දී ම ක්‍රීඩාව අතහැර යන්න හැදුවා. තාත්තට හැම දෙයක්ම කරන්න බැහැ. මගේ කටේ බලේට වගේ තමයි හිටියේ. මම යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වගේ තැනක සචිනිට රස්සාව ලබා දෙන්න උත්සාහ කළා. නමුත් සචිනිගේ උස ඒ තැන්වල දී බාධාවක් වුනා. හැම තැනකින්ම උස අඩුයි කියලා ප්‍රතික්ෂේප කළා.

ඔය අතර මම සචිනිව මීටර් 2.80ක උස පනින මට්ටමට ගෙනාවා. ඒ වෙද්දී සචිනි ක්‍රීඩාව පුහුණු වෙන්න ඇවිත් අවුරුදු එකහමාරක් විතර වෙන්නේ. ඒ තරමට එද්දීත් සචිනි ක්‍රීඩාව අතහරින මට්ටමේ හිටියේ. මම නැවත යුද හමුදාවට ගියා. ඇයගේ දක්ෂතා ගැන, ඉදිරියේ දී ඇයට යා හැකි ගමන ගැන පැවසුවා. අවසානයේ එතරම් උස අවශ්‍ය නොවන සංඥා බලකායට ඇය බඳවා ගෙන ක්‍රීඩා කිරීමට නිදහස් කළා. එසේ නොවුණා නම් අද රිටි පනින්න සචිනි කෙනෙක් නැහැ. සචිනි මේ මට්ටමෙන් හදා ගන්න යුද හමුදාව ලොකු සහයෝගයක් ලබා දුන්නා” ගුණරත්න මහතා නැවත පැවසුවා.

තවත් විශේෂාංග ලිපි:

ඉන් අනතුරුව සචිනි ශ්‍රී ලංකා යුද හමුදා වාර්තාව, ආරක්ෂක සේවා වාර්තාව තබමින් ශ්‍රී ලංකා යුද හමුදාවට ගෞරවයක් ලබා දෙනවා. ඊට අමතරව ජාතික ක්‍රීඩා උළෙලේ ද පළමුවැනියා වෙනවා. අනතුරුව නිමා වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වේ ජාතික වාර්තාව ද තබමින් යුද හමුදාව තව තවත් ගෞරවාදරයට ලක් කළා.

සචිනි පුහුණුවීම්වලට ආ දවසේම ඇයගේ සුවිශේෂීත්වයක් මම දැක්කා. නමුත් ඇය මේ තත්ත්වයට ගේන්න මට සෑහෙන්න මහන්සි වෙන්න වුනා. මොකද සචිනි, අවුරුදු 18ක් විතර කරල තිබුණෙ ජිම්නාස්ටික්. ඇය කකුලක් තිබ්බත් තිබ්බේ ජිම්නාස්ටික් රිද්මයට. ඒක හදන්න කාලයක් ගියා. මම දැනගෙන හිටියා මේක හදා ගත්තොත් සචිනි ගොඩක් දුර ගෙනියන්න පුළුවන් කියලා. දැන් මගේ උත්සාහය ලබන අවුරුද්ද වෙන විට සචිනි මීටර් 4 ප්‍රමාණයට ගේන්න. එහෙම වුනොත් අපිට ආසියානු මට්ටමේ පදක්කමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්” පුහුණුකරුවෙක් ලෙසින් සචිනිගේ ඉදිරි ගමන සැලසුම්වන ආකාරය ගැන ගුණරත්න මහතා පැවසුවේ ඒ ආකාරයෙන්.

සචිනි පාසල් යන්නේ පන්නිපිටිය ක්‍රිස්තු රාජ විද්‍යාලයට. දන්න කියන කාලේ සිටම සචිනි ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරත වෙනවා. සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් තරගවල දී පදක්කම් පවා දිනා ගන්නවා.

මම ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2014 අවුරුද්දේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ස්කොට්ලන්තයට ගියා. ඒක තමයි මගේ පළමු ජාත්‍යන්තර තරග සංචාරය. ඊට පස්සේ සිංගප්පූරුවේ තිබුණු ආරාධිත ජිම්නාස්ටික් තරගාවලියකට සහභාගි වෙලා ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. මේ දක්ෂතාත් සමග ජිම්නාස්ටික් අතහැරලා රිටි පනින්න යනවා කිව්වහම ගොඩක් දෙනෙක් මම දිහා බැලුවේ අමුතු විදිහට. පිස්සු ද? කියල අහපු අයත් හිටියා. ඒත් මොන හේතුවක් නිසා ද දන්නෑ මම රිටි පනින්න තීරණය කළා” සචිනි පවසනවා.

සචිනි එදා ගත් තීරණයේ වරදක් වෙලා නැහැ. ඒ නිසාම අපිට ජාත්‍යන්තරය ජය ගන්න පෙරුම් පුරන ක්‍රීඩිකාවක් හමුවෙනවා. නමුත් තවමත් සචිනි රිටි පැනීමේ ඉසව්වෙන් මෙරටින් පිටත ගිහිල්ලා නැහැ.

මම රිටි පනින්න යන්නේ අහම්බෙන් වගේ යන ගමනකින්. අපේ පාසලේ අක්ක කෙනෙක් රිටි පැනිමට පුහුණු වුනා. මම එයාගෙ තනියට ගිය ගමනක ප්‍රතිඵලයක් මේක. මම ජිම්නාස්ටික් ක්‍රීඩාව කළ නිසා දෝ මේකට ලොකු ආසාවක් ඇති වුනා. එතකොට ඒ අක්කා පුහුණුවිම් කළේ කියුබන් ජාතික පුහුණුකරුවෙක් යටතේ. මමත් ඔහු යටතේ දින කිහිපයක් පුහුණු වුනා. ඊට පස්සේ ගුණරත්න සර්ගේ අවසරය ඇතිව සර් එක්ක පුහුණුවීම් කටයුතුවලට සහභාගී වුනා. ඒ වුනත් අවුරුදු දෙකක් විතර යනතෙක් මට ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුණා. මේ නිසා ගොඩාක් කනස්සල්ලෙන් හිටියේ. එහෙන් ආර්ථික ප්‍රශ්න. ඒවත් එක්ක ක්‍රීඩාව නතර කරන්නත් හිතුණ වාර ගණන අපමණයි. නමුත් සර් නිතරම මාව දිරිමත් කළා.”

එවන් දිරිමත් කිරීමක් පමණක් තම ඉසව්වෙන් ඉදිරියට යෑමට ප්‍රමාණවත් නොවන බවයි ඇය පවසන්නේ.

අපිට තිබෙන පහසුකම් ඉතාම අඩුයි. මේ ඉසව්ව වෙනුවෙන් මීට වඩා සැලකිල්ල දක්වනවා නම් අපිට තවත් දියුණු වෙන්න පුළුවන්. පුහුණුකරුවන් දැඩි වගකීමකින් කටයුතු කරනවා. අපිත් උපරිම ජවය දාල පුහුණුවීම් කරනවා. නමුත් අපිට තව කොච්චර දුරක් යන්න තියෙනව ද? අපිට ඉදිරි කාලයේ දී විදෙස් ක්‍රීඩකයන් සහභාගී වෙන පොඩි පොඩි තරගවලට හෝ සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දෙනවා නම් මේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට විදෙස් රටක පුහුණුවක් ලබා දෙනවා නම් ජාත්‍යන්තරය දිනන තැනකට ලෙහෙසියෙන් යන්න පුළුවන් කියල හිතෙනවා.”

මේ දේවල් සචිනි පවසන්නේ මෙතෙක් මේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩිකාවක් පදක්කමක් දිනා නොමැති වටපිටාවත් සමගින්. එය ඇයට කළ හැකි යැයි යන විශ්වාසයෙන් ඇය පසුවෙනවා. “මේ ඉසව්වෙන් මගේ මව්බිමට ජාත්‍යන්තර පදක්කමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා වීර්යයෙන් පුහුණුවීම්වල නිරත වෙනවා. අවශ්‍ය දක්ෂතාව රඳවා ගැනීමට උත්සාහ කරනවා. මේ හැම දෙයක්ම වෙනුවෙන් උදව් කරන අයට ස්තුතියි” සචිනි පැවසුවා.

මෙරට මලල කෙළිබිමට රිටි පැනීමේ ඉසව්වෙන් වන ඇයගේ බලාපොරොත්තුව සඵල වේවායි ThePapare.com හී සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<