අහම්බෙන් ආ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රීඩිකාව වූ “උඩරට කොමළිය”

381

98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ අමාෂා ද සිල්වා ය. ඇය මීටර් 100 ඉසව්ව මෙවර තත්පර 11.55කින් අවසන් කරන්නේ තම හොඳම කාලය ද වාර්තා කරමිනි. 

මෙම තරග නිමි කළ කාලය 2006 වසරෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය ද වන්නේ ය. මේ සමඟම ඇය මෙරට මෙතෙක් මීටර් 100 ඉසව්වේ හොඳම කාලය වාර්තා කළ සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා සහ රුමේෂිකා රත්නායක යන ක්‍රීඩිකාවන් අතරට පිවිසෙන්නට ද සමත් වූවාය.

“ඒ අය අතර මගේ නමත් සඳහන් වීමට තරම් දක්ෂතා දක්වන්නට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ ජයග්‍රහණයත් සමඟ ලංකාවට එයාලා ලබා දුන් ගෞරවය වගේම මටත් දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුනා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. තව මහන්සි වෙලා ටයිමින් අඩු කරගෙන අනෙකුත් ක්‍රීඩිකාවන්ටත් අභියෝගයක් වෙමින් රටට ගෞරවයක් ලබා දෙන්න උත්සාහ කරනවා” අමාෂා ද සිල්වා ThePapare.com අපත් සමග කතාබහට එක් වෙමින් පැවැසුවාය. 

අමාෂාගේ ගම ගැන සඳහන් කරද්දී ප්‍රධාන නගරයත් සමඟ තවත් ගම් දෙකක් සඳහන් කරන්න වෙනවා. ප්‍රධාන නගරය මහනුවර. ඊට පස්සේ ගෙළිඔය සහ රන්ගොඩ. එතැනිනුත් එහා වෙලම්බොඩ කියන ප්‍රදේශය තමයි අමාෂාගේ ගම. මහනුවර සිට කිලෝ මීටර් 16ක දුරක්.

අමාෂා මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවක්. ඒ වැඩ කටයුතුත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ ද ක්‍රීඩිකාවක් ලෙසින් කටයුතු කරනවා. මේ නිසා අමාෂාගේ පුහුණුවීම් කටයුතු කොළඹ, දිගන, මහනුවර වගේ ප්‍රදේශවල ඉඩ ලැබෙන ආකාරයෙන් සහ අමාෂා රැඳී ඉන්න ඉසව්ව අනුව සිදු වෙනවා.

“මම ඉස්කෝලෙ ගියේ මහනුවර ස්වර්ණමාලි බාලිකාවට. පුංචි දවස්වල මලල ක්‍රීඩාව ගැන එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ තරමට මගේ දක්ෂතාවක් තිබුණෙත් නැහැ. අනෙක් අය කරනවට මමත් පාසල් නිවාසාන්තර තරගවල දී දිව්වා. ඒත් මුල් කාලයේ දුවපු තරග එකකවත් ජයග්‍රහණයක් ලැබුවෙ නැහැ. ගෙදරින් මොනවත් කිව්වෙත් නැහැ. ඔය අතර මට අම්මගෙ පරණ ෆොටෝ ඇල්බම් එකක් දකින්න ලැබුණා. ඒකෙ අම්ම ධාවන තරගවලට සහභාගී වුන පිංතූර තිබුණා. ඒව දකිද්දි මටත් හරි පුහුණුවක් ලබමින් දුවන්න ආස හිතුණා. එතකොට මම 7 පංතියේ විතර ඇති.”

ඒ අනුව අමාෂා පුහුණුවිම්වලට යොමු වෙන්නේ පාසලේ පුහුණුකරු වූ සනත් මහතා වෙත. වසරකට විතර පසුව ඇය සංජීව වීරක්කොඩි මහතා යටතේ පුහුණුවිම් කරනවා. ඒත් අමාෂාගේ ආරම්භය එතරම් සාර්ථක වුණෙ නැහැ. ඒ වෙද්දි ඇය සහභාගී වුණේ වයස අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩයේ මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමේ. පෙර වගේම තමයි. ජයග්‍රහණ අහලකවත් තිබුණෙ නැහැ. අමාෂලගේ රාහු කාලය අවසන් වුණේ ඊට පසු අවුරුද්දේ. ඔවුන් කලාප තරග දිනනවා. ඊට පස්සේ සමස්ත ලංකා පාසල් තරගවලට සහභාගී වෙනවා. ඒත් එතැන දී නැවතත් පරාජය. 

“අමාෂ පුහුණුවීම්වලට ඇවිත් අවුරුදු 2ක් විතර ගත වුනත් කිසිම පදක්කමක් ලබා ගත්තෙ නැහැ. සහතික කිහිපයක් නම් හම්බ වුනා. හැබැයි ඉතිං අමාෂා ගේම් එක අතහැරියෙත් නැහැ. මේ අතර අමාෂා තනි ඉසව්වක් විදිහට මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වත් කරනවා. ඒකෙන් අමාෂාට අවුරුදු 16ක් වෙද්දී ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ සමස්ත ලංකා පළමුවැනියා වෙමින් රන් පදක්කම දිනා ගන්නවා” අමාෂාගේ මලල ක්‍රීඩා දිවියේ ආරම්භක අවධිය ගැන පුහුණුකරු සංජීව වීරක්කොඩි මහතා සිහිපත් කළේ ඒ අයුරින්. වීරක්කොඩි මහතා මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ සහකාර ශාරීරික අධ්‍යාපනය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් සේවය කරනවා.

කඩුලු පැනීමෙන් ආරම්භ වූ අමාෂාගේ මලල ක්‍රීඩා දිවියේ ඉරණම ලියැවෙන්නේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත් ම ක්‍රීඩිකාව බවට පත් වෙමින්. එසේ වෙන්නේ කොහොමද? අපි විමසුවා. 

“එතකොට අමාෂගේ ප්‍රධාන ඉසව්ව වුනේ මීටර් 400 සහ මීටර් 400 කඩුලු පැනීම. ඉඳල හිටල මීටර් 100, 200 සහාය දිවීමේ ඉසව්වලටත් සහභාගී වෙනවා. 2017 දී බියගම තිබුණ සමස්ත ලංකා පාසල් මීට් එකක දී අමාෂා 400 ඩිස්කොලිෆයිඩ් වුනා. පහුවදා මීටර් 100 මූලික තරග තිබුණා. මීටර් 400ත් දුවන්න බැරි වුන එකේ මම කිව්වා මීටර් 100 කරන්න කියලා. ප්ලේස් කළා. අවුරුදු 19 දී මීටර් 100 තත්පර 12.3කට විතර දිවුවා. එතැනින් පස්සෙ දිගටම අමාෂා මීටර් 100 කළා.” 

ඒ අනුව ටිකෙන් ටික ඉදිරියට ආ අමාෂා ජපානයේ දී පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 100 සහ 200 ඉසව්වල රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. ඒ ඇය සහභාගී වූ පළමු විදෙස් තරගාවලිය.  ඊට පසුව අමාෂා කා අතරත් ජනප්‍රිය වෙන්නේ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 100, 200 තනි ඉසව්වේත්, මීටර් 100 සහ 400 සහාය දිවීමේ ඉසව්වලත් රන් පදක්කම් හතරක් දිනා ගැනීමත් සමඟයි.

“අමාෂා මීටර් 100 කරන්න අරගෙන අවුරුද්දක් වගේ කාලයක දී ඉතා හොඳ මට්ටමට ආවා. ජපානයේ දී 11.7කට වගේ ආවා. දක්ෂතා අතර ලෝකයේ 24 වැනියට වගේ ඉන්නවා. මේ කාලය ටිකෙන් ටික දියුණුකර ගත්තොත් අපේ ටාගට්වලට යන්න පුළුවන්. 2021 මැයි මාසයේ චීනයේ දී ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය තියෙනවා. අපි එතැන ඉන්නේ 7 වැනි තැනට. තව දශම 15ක් විතර අඩුකර ගත්තොත් අපිට ලොකු බලාපොරොත්තුවක් ඇතිව තරගාවලියට සහභාගි වෙන්න පුළුවන්. ඒක තමයි අපේ මුල්ම ටාගට් එක” විරක්කොඩි මහතා පවසන්නේ ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. 

තවත් විශේෂාංග ලිපි:

ඊට පසුව 2022 ඔලිම්පික් තරගාවලිය සඳහා වරම් ලබා ගැනීම. ඒක ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය. ඊට අමතරව ආසියානු තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ ලෝක මලල ක්‍රීඩා තරගාවලිය ලෙසින් එකින් එක පෙළ ගැස්වෙනවා. 

“අමාෂා මීට කලින් වසර දෙකක වගේ පුහුණුවකට ඔස්ට්‍රේලියා ගියා. ඒකට සහභාගී වෙනවට මගේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම අමාෂාගේ ඉල්ලීමටත්, දෙමාපියන්ගේ ඉල්ලීමටත් පසුව ඊට එකඟ වුනා. ඒත් අමාෂා එතැන දී ටිකක් පසු බැස්සා. බලාපොරොත්තු වූ ඉලක්කවලට ඇයට එන්න බැරි වුනා. ඇය මෙහේ එද්දී 12.3කට වගේ තමයි දුවන්නේ. ඒ කාලයත් අපිට තිබුණා නම් ඇය මීට වඩා දියුණු වෙලා” වීරක්කොඩි මහතා පැවසුවා.  

අමාෂාගේ පියා මහින්ද ද සිල්වා කායවර්ධන ක්‍රීඩකයෙක්, මව සමන් කුමාරි දුණුවිල හිටපු මලල ක්‍රීඩිකාවක්. අක්කා ලංකානි බුද්ධිමා ද සිල්වා වයඹ විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ ඉගනුම ලබන අතර විශ්වවිද්‍යාලයීය හොකී කණ්ඩායමේ නායිකාවයි. අයියා කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔවුන් අමාෂාගේ ක්‍රීඩා දිවියට බෙහෙවින්ම සහයෝගය දක්වනවා කියල තමයි අමාෂා කියන්නේ. 

“ගෙදරින් ලැබෙන සහයෝගය නැත්නම් මේ ජයග්‍රහණ කිසිවක් මට ලබා ගන්න බැරි තරමටම ඔවුන් මේ වෙනුවෙන් කැප වෙනවා. කාලය ගත කරනවා. මගේ සෑම තරගයක්ම නරඹන්නට ඇවිත් මාව ධෛර්යමත් කරනවා. ඇත්තට ම මේ ජයග්‍රහණවල හිමිකාරයන් වන්නේ වීරක්කොඩි සර්ගෙන් පසුව ඔවුන්.”

අමාෂාගේ පුහුණුවීම් තියෙන්නේ බෝගම්බර. හැමදාම එනවා යනවා. කොච්චර වෙහෙසකර කාර්යයක් වුනත් ඒක අමාෂා මඟ හරින්නේ නැහැ. අම්මත්, තාත්තත් පුහුණුවීම් මඟ හරින්න කොහොමටත් ඉඩ දෙන්නෙත් නැහැ. ගෙදර සිට පැය එකහමාරක විතර ගමනක්. ඊට පස්සේ තවත් පැයක දෙකක පුහුණුවීමක්. ක්‍රීඩාංගණයේ ඇත්තෙත් අවම පහසුකම්. ආබාධවලට ලක්වෙන අවස්ථාවන් වැඩියි. ඉතිං ඒවත් මඟ හැරගනිමින් පුහුණුවීම් කරගන්න ඕන. පහුගිය කොරෝනා වසංගත කාලයේ නම් ගමේ පාරවල් ගානේ දුවල ශරීර යෝග්‍යතාව රඳවා ගත්තා කියලයි අමාෂා කියන්නේ. 

“ඒක මට විතරක් නෙමේ. හැම කෙනෙක්ම මුහුණ දුන් අපහසු කාලයක්. ඒත් ඒ අපහසුතා මැද වුනත් වීරක්කොඩි සර් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. නිතරම අපිව පුහුණුවීම්වල යෙදෙව්වා. ආපු ගමන යන්න ඕන කියල තමයි සර් කියන්නේ. මටත් වඩා මගේ ඉසව්වේ ලොකු ටාගට් තියෙන්නේ සර්ට. සර් කියන්නේ ඒ ටාගට්වලට යන්න ඕන කියලා. අපි ඒ ගමන යනවා. කවද හරි දවසක ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න තමයි උත්සාහය” අමාෂා පැවසුවා. 

ඇයගේ ඒ බලාපොරොත්තුව සඵල වේවායි ThePapare.com අපගේ ද ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<