කෝලිගේ වාර්තාව වෝනර් බිඳහෙලයි

847

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තවත් වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු පිතිකරු සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් සමත් විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 5000 සීමාව පසුකර යමිනි

ඩේවිඩ් වෝනර් මෙම වාර්තාවට හිමිකම් කීවේ පසුගියදා පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයේ දීය

එම තරගය ඩේවිඩ් වෝනර්ගේ 135 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉනිම ලෙස සටහන් විය. මීට පෙර වේගවත්ම ලකුණු 5000 වාර්තාවට හිමිකම් කීවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලිය. ඔහු ලකුණු 5000 සීමාව පසුකර යාමට ඉනිම 157ක් වැයකර තිබිනි. සමඟින් ඩේවිඩ් වෝනර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ලකුණු 5000 සීමාව පසුකළ සිව්වන ක්‍රීඩකයා බවට පත්විය

අබුඩාබි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ඩේවිඩ් වෝනර්, පන්දු 33ක් තුළ වේගවත් ලකුණු 47ක් රැස්කිරීමට සමත් විය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ලකුණු 5000 සීමාව පසුකළ තුන්වන ක්‍රීඩකයා වන්නේ සුරේෂ් රයිනාය. එයට අමතරව මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මා ද එම සීමාව පසුකළ ක්‍රීඩකයෙකි. එම ලැයිස්තුවට අළුතින්ම එක්වූ ඩේවිඩ් වෝනර් එහි එකම විදෙස් නියෝජනය වීම විශේෂත්වයකි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ වේගවත්ම ලකුණු 5000 වාර්තා කළ ක්‍රීඩකයන්: 

  • ඩේවිඩ් වෝනර්ඉනිම් 135
  • විරාත් කෝලි – ඉනිම් 157
  • සුරේෂ් රයිනාඉනිම් 173
  • රෝහිත් ශර්මාඉනිම් 187 

ඕස්ට්‍රේලියානු ජාතික මෙම වමත් පිතිකරුවා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ශතක 4ක් තම නම ඉදිරියේ සටහන් කරගෙන තිබේ. තවද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානය ද ඔහුට හිමිව ඇත. එහි මුල් ස්ථාන විරාත් කෝලි, සුරේෂ් රයිනා සහ රෝහිත් ශර්මා හට හිමිව තිබේ

පසුගියදා පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රතිවාදීන්ට ලබා දුන් අභියෝගය ලකුණු 164 කි

කෙසේවෙතත් සෙසු තරගවලදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ නැත. වෙනුවට ජොනී බෙයාස්ටෝ සහ කේන් විලියම්සන් සන්රයිසස් ඉනිම ආරම්භ කළහ

ආරම්භක පිතිකරු ස්ථානයට උසස්වීමක් ලැබූ කේන් විලියම්සන්, පන්දු 19ක් තුළ ලකුණු 29ක් වාර්තා කළේය. පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි වෝනර් වේගවත් ඉනිමක් දියත් කළ ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැත

තරගයේ ජයග්‍රහණය සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී ලැබුනු ඉලක්කය ලකුණු 18 කි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඔන්ඩ්‍රේ රසල් අවසන් පන්දුවේ දී ලකුණු 2ක් ආරක්ෂා කරමින් තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ගෙන යාමට සමත් විය

සුපිරි පන්දුවාරයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම භාරගත් ලෝකි ෆර්ගියුසන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ යැවූ ප්‍රබලතම සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කළේය.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

එම පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ඩේවිඩ් වෝනර් දවා ගැනීමට සමත්වන ලෝකි, තුන්වන පන්දුවේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දෙවන කඩුල්ල ද දවා ගැනීමට සමත් වූයේ ඔවුන් ලකුණු 2කට සීමා කරමිනි

සුපිරි පන්දුවාරය තුළ ඔවුන්ට හිමි වූ ඉලක්කය පහසුවෙන් පසුකර යාමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය

සන්රයිසස් හයිද්‍රාබාද් ඉනිමේ වැදගත්ම සම්බන්ධතාවය ගොඩනැගීමට ඩේවිඩ් වෝනර් සහ අබ්දුල් සමාඩ් සමත් වූයේ ලකුණු 37ක් ලකුණු පුවරුවට එක්කරමිනි. ඔවුන්ගේ ඉනිමේ පන්දුවාර 16ක් නිමා වන විට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 105ක්  රැස්කර ගෙන තරමක් අසීරු අඩියක සිටි අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ අබ්දුල් සමාඩ් පන්දු 15ක් තුළ ලකුණු 23ක් සහ ඩේවිඩ් වෝනර් පන්දු 33ක් තුළ ලකුණු 47ක් වාර්තා කරමින් කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන යාමට සමත් විය

ලකුණු 163ක් වාර්තා වූ කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිමේ වැඩි ගෞරවය හිමි වූයේ දිනේෂ් කාර්තික්ට නායක ඔයින් මෝර්ගන් හටය. දිනේෂ් කාර්තික් ලකුණු 29ක් මෝර්ගන් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (19) දිනයේ පැවති තරග වලින් අනතුරුව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. දෙවන ස්ථානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ද තුන්වන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ද සිව්වන ස්ථානය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ද හිමිව ඇත

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<