කෙටිදුර ධාවන ශූරයා CSK නායකයාට ක්‍රිකට් උගන්වයි

921

හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග වදින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පසුගිය තරග වාරයන්ට සාපේක්ෂව මෙවර තරග වාරයේ දී දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බව ක්‍රිකට් විචාරකයින් ඇතුළු ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකු මේ වන විට චෝදනා එල්ල කරමින් සිටිති. 

සෙනසුරාදා (17) දී දිල්ලි කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමඟින් මෙවර තරගාවලියේ තරග 6කම ඔවුන්ගේ ඉරණම විසඳී ඇත්තේ පරාජයන්ගෙන් වීම මීට ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වී තිබේ.

දිල්ලි කණ්ඩායමට ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා අවසන් පන්දු වාරයේ දී ලකුණු 17ක් රැස් කරගැනීමට අවශ්‍යව තිබූ අතර චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි ඉදිරියේ තිබූ ප්‍රධානතම ප්‍රශ්නාර්ථය වූයේ එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීම සඳහා තෝරාගත යුතු සුදුසුම පන්දු යවන්නා කවුරුන්ද යන වගයි. 

ඩ්වේන් බ්‍රාවෝ හදිසියේම ඇති වූ අසනීප තත්වයක් නිසාවෙන් පිටියෙන් ඉවතට ගොස් සිටි අතර ඔහු ඒ අනුව එම භාරධූර වගකීම ලබා දුන්නේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා හටයි.

තවත් ක්‍රිකට් පුවත්:

අපේක්ෂා කළ අයුරින් දඟ කැවීමක් සමඟ තණතීරුවෙන් සහයෝගයක් හිමි නොවූ අතර ජඩේජා යැවූ පන්දු 3කට දැවැන්ත හයේ පහර ත්‍රිත්වයක් එල්ල කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තීරණාත්මක ජයග්‍රහණයක සතුට සැමරීමේ අවස්ථාව උදා කර දීමට අක්සාර් පටෙල් සහ ෂිකර් ධවාන් සමත්කම් දැක්විය. 

දෝනි එම අවස්ථාවේ පන්දුව භාර කළේ සුදුසුම පුද්ගලයාට ද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත කතිකාවක් නිර්මාණය වීමට පටන්ගත් අතර ජැමෙයිකානු ජාතික ලෝක පූජිත කෙටි දුර ධාවන ශූරයෙකු වන යොහාන් බ්ලේක්ද ඒ සම්බන්ධයෙන් තම අදහස් පළකොට තිබෙන අයුරු  දැකගන්නට ලැබුණි.

“මම නම් හිතන්නේ මේක තමයි කාලෙකට පස්සේ දෝනි ගත්ත නරකම තීරණය. ජඩේජාට අවසන් පන්දුවාරය දුන්න එක ඉතාමත් දුර්වල තීරණයක්! බ්‍රාවෝට මොකද වුනේ? වමත් පිතිකරුවෙක්ට එරෙහිව ජඩේජාව යොදාගන්න එක කොච්චර දුරකට සාර්ථක ද? දුර්වල දුර්වල තීරණයක් මහේන්ද්‍ර සිං දෝනි!” යනුවෙන් ඉච්ඡාභංගත්වයට පත් වූ බ්ලේක් තම Twitter ගිණුමට පණිවිඩයක් එකතුකොට තිබුණි.

පසුව බ්‍රාවෝ ඒ වන විටත් ක්‍රීඩාගාරය වෙත ගොස් සිටි බව දැන ගත් බ්ලේක් එහි දී අවධාරණය කර සිටියේ වොට්සන් වැනි අත්දැකීම් බහුල පන්දු යවන්නෙකුගේ සේවය ලබාගැනීම වෙනුවට ගත් එම දුර්වල තීරණයත් සමඟ තමන් කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි.

අවසානයට ඔහු සියලුම ඉන්දීය ප්‍රේක්ෂකයින් ආමන්ත්‍රණය කරමින් සටහනක් එක්කොට තිබුණේ කුමන කණ්ඩායමකට සහය ලබා දුන්නත් දිනය අවසානයේ දී සියලුම දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරනා බවයි. 

“ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රිකට් එක්ක එකතු වෙලා ඉන්න අපි මොන කණ්ඩායමට සහයෝගය ලබා දුන්නත් ඒකේ වෙනසක් නැහැ. මම හැමදෙනාගේම මතයට ගරු කරනවා වගේම සහයෝගය ලබා දෙනවා. මගේ ආදරණීය ඉන්දීය ප්‍රේක්ෂකයින් වෙත මම විශේෂයෙන්ම කියන්න ඕන මම ඔය හැමෝටම ගොඩක් ආදරෙයි නමුත් මම තාමත් විශ්වාස කරන්නේ අවසන් පන්දුවාරය යවන්න සුදුස්සා ජඩේජා නෙමෙයි කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<