ධනංජයගේ ශතකය නිසා ශ්‍රී ලංකාවේ ගෞරවය සුරැකේ

1310

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ලකුණු 225කින් ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගත් අතර තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (06) හරාරේ නුවරදීම ආරම්භ විය.

පසුගිය ලිපි: වෙහෙසකර දිනයක් අවසානයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ සතුට සමරයි!

කණ්ඩායම් දෙකම ප්‍රථම තරගය සඳහා ක්‍රීඩා කල කණ්ඩායම් සංචිතයම මෙම තරගය සඳහා ද සහභාගී කරවීමට පියවර ගෙන තිබුණි. අද කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්, ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා නව නායක රංගන හේරත්ට භාර කරන ලදී.

ඒ අනුව පිටිය මධ්‍යයට පියමන් කල දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක් රැස්කල අතර තරගයේ මුල්ම කඩුල්ල ලෙසින් ලකුණු 26ක් ලබා සිටි දිමුත් කරුණාරත්න, හැමිල්ටන් මැසකඩ්සාගේ මද වේග පන්දුවකට ශෝන් විලියම්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් පෙරේරාට වැඩි වේලාවක් පිටියේ රැඳෙන්නට ඉඩ නොදුන් මැසකඩ්සා තම දෙවැනි කඩුල්ල ලෙස ඔහුව ලකුණු 4ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කලේ ශ්‍රී ලකුණු ප්‍රථම ඉනිම ලකුණු 66ක් ලෙස සටහන් වෙද්දීය.

ප්‍රථම දිනයේ දිවා විවේකයට ස්වල්ප වේලාවක් තිබියදී ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගෙන පිටියෙන් ඉවත් කරන්නට සිම්බාබ්වේ පළපුරුදු වේග පන්දු යවන්නෙකු වන ක්‍රිස්ටෝපර් ම්පොෆු සමත් වූයේ දිවා විවේකය වන විට තරගය දෙපිළටම විවෘත කර දෙමිනි. කෞෂාල් DRS අවස්ථාව ලබා ගැනීමට උත්සාහ කලත් නියමිත වේලාව පසුවී ඇති බව පවසමින් විනිසුරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය. පසුව ලැබුනු පුනරූපන‍යන් මගින් පෙන්නුම් කළේ එම පන්දුව කඩුල්ලේ නොවදින පන්දුවක් බවයි. කෙසේ වෙතත් ප්‍රමාදය නිසා කෞෂාල්ට ඒ වන විටත් තම කඩුල්ල අවාසනාවන්ත ලෙස අහිමිවී තිබුණි.

දිවා විවේකය වන විට කඩුලු 3කට ලකුණු 105ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිම තව දුරටත් අසරණ කරමින්, හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස්ව ද පිටියෙන් ඉවත් කරන්නට ඩොනල්ඩ් තිරිපානෝ සමත්විය. කුසල්ගේ පිත්තේ පිටත අග්‍රයේ ගෑවී ඇදී ගිය පන්දුව කඩුලු රකින ක්‍රීඩක පීටර් මුවර් සුරැකිව රැක ගනිද්දී කුසල් ලබා සිටි ලකුණු ගණන 26කි.

ඒ වන විට ලකුණු 112ට කඩුලු 4ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ගොඩ නැංවීමේ වගකීම නොදැවී පන්දුවට පහර දෙමින් සිටි උපුල් තරංගට සහ ධනංජය සිල්වාට හිමිවන්නේ ඒ අනුවය. ශ්‍රී ලංකා කණ්ඩායම පත්වී ඇති අවදානම මැනවින් තේරුම් ගත් ඔවුන් දෙදෙනා හොඳින් පන්දුව තෝරා බේරා ගනිමින් පස්වන කඩුල්ල සඳහා ලකුණු 143ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් විය. කලින් තරගයේදී ශතකයක් රැස් කල උපුල් තරංග අද නැවතත් සුපිරි දක්ෂතා අතරට එමින් සිය හයවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ගේ පන්දුවක් හමුවේ මැසකඩ්සා අතට උඩ පන්දුවක් ලබා දී දැවී යන විට ඔහු හතරේ පහර 8ක් සමගින් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 79කි.

පීඩනය යටතේ කවදත් හොඳින් දක්ෂතා දක්වන ධනංජය සිල්වා බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ගෞරවණීය තත්වයකට ඔසවා තබමින් හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් විය. තවමත් ටෙස්ට් පිටියට කෝඩුකාරයෙකු වන ඔහු අද වාර්තා කලේ තම දෙවැනි ශතකයයි. නමුත් වෙනදාටත් වඩා ඉවසිලිවන්තව හොඳ පන්දු වලින් ආරක්ෂා වෙමින්, දුර්වල පන්දු හතරේ සීමාව කරා යවමින් ඔහු ක්‍රීඩා කල ඉනිම පරිණත පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශය සිහි කරවන්නක් විය. ශ්‍රී ලංකාව මේ වන විටත් අවදානම් කලාපයෙන් සෑහෙන දුරකට ඈත්වී ඇති නිසා හෙට දිනයේ තවත් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමට පීඩනයක් ඇති කිරීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 290 (පන්දුවාර 90): ධනංජය සිල්වා 100*, උපුල් තරංග 79, කෞෂාල් සිල්වා 37, දිමුත් කරුණාරත්න 26, කුසල් මෙන්ඩිස් 26, අසේල ගුණරත්න 13*,හැමිල්ටන් මැසකඩ්සා 2/18, ග්‍රැහැම් ක්‍රීමර් 1/57.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට