පශ්චාත් ලෝක කුසලාන ජීවිතයට අවදි වූ කටාර් දේශය

FIFA World Cup 2022

411

එය නිර්මාණය වීමට වසර 12ක් ගතවුනා. එය පැමිණ දවස් 28ක කාලයක් ගත කර ආපසු ගියේ සෙනඟ, වීදිවල නැඟුණු බැරැණ්ඩි ගායනා සහ ගුමුගුමු නාදය ද ඒ සමඟ රැගෙන යමින්.

කටාර් දේශය සඳුදා අවදි වූයේ ලෝක කුසලානය අවසන් වී ඇති බව අවබෝධ කරගෙන.

බ්‍රසීලියානුවන්, ආජන්ටිනානුවන්, මොරොක්කානුවන් සහ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය‌ට සහභාගි වූ අනෙකුත් දුසිම් ගණන් රටවල ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරී තිබුණු දෝහා අගනුවර ජනප්‍රිය Souq Waqif හි පටු පාරවල් ඒවායේ ම සෙවණැලි බවට පත්ව තිබුණා.

මම අද උදේ වැඩට එනකොට මේ ස්ථානය හිස් වී තිබෙන හැටි දැක්කම මට හරි දුකක් දැනුණා,” යනුවෙන් Al Jazeera පුවත් සේවයට Souq හි රෙදි සාප්පුවක සේවය කරන Ahmed Salam ප්‍රකාශ කළා. “මේ පලාතේ ඉතාම ප්‍රාණවත් බවක් තිබුණා. අපට ඉඳගන්නවත්, විවේකයක් ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඒ පරිසරය විස්මය ජනක එකක් වුනා.”

FIFA World Cup වැනි ප්‍රධාන පෙළේ තරගාවලියක් සෑම වසරක ම රටේ පැවැත්වෙනු දැකීම තම අපේක්ෂාව බව ඉන්දියානුවෙකු වන සලාම් පැවසුවා.

ඉන්දියාවෙන් පිට මම ගිහින් තියෙන එක ම තැන කටාර් රටයි. ලෝකෙ වටෙන්ම පැමිණි මිනිසුන් මෙහි දී මුණගැසෙන්න අවස්ථාවක් ලැබීම ගැන මට හරිම සතුටුයි.”

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර කටාර් දේශයට මිලියන 1.2ක ආගන්තුකයින්ගේ පැමිණීමක් අපේක්ෂා කෙරුණා. පැමිණීමේ නියම සංඛ්‍යාව තවමත් නිවේදනය කර නැතත්, එය මිලියන 2.7ක ජනගහණයක් පමණක් තිබෙන රටකට ලොකු සංඛ්‍යාවක්.

දෝහාවලින් පිට තවත් ස්ථානයක දී සේවකයන් විසින් ලෝක කුසලාන පුවරු, බැනර් සහ කොඩි ද, උමං දුම්රිය ස්ථාන වටා දමා තිබූ බාධක ද ඉවත් කරමින් සිටින අයුරු දිස්වුනා. කටාර් දේශය නිල වශයෙන් සිටියේ ලෝක කුසලානය පැවැත්වෙද්දීට වඩා ප්‍රතිවිරුද්ධ ආකාරයක.

දුම්රිය ස්ථාන ඇතුළත සෙනඟ පෙනුණේ අඩුවෙන්. තදබදයක් දක්නට තිබුණේ නැහැ. තරග 64න් එකකට හෝ ඊට සමගාමීව දුසිම් ගණනින් පැවති සැණකෙළි සිරි ගත් ඉසව්වලට හෝ යාමට ඉතා දැඩි ලෙස තිබෙන ඕනෑකම නිසා පොරකමින්, තල්ලු කරමින් යන හදිසියක් මිනිසුන්ගෙන් දක්නට ලැබුණේ  නැහැ.

කෙසේ වෙතත්, තමන් තවමත් ලෝක කුසලාන මේනියාවෙන් මිදී නැති බවක් සමහර නිවැසියන්ගෙන් ප්‍රදර්ශනය වුනේ ඔවුන් ආජන්ටිනා කණ්‌ඩායමේ සුදු සහ අහසේ නිල් පැහැයෙන් යුත් කමිස, හිස වසා ගත් ලේන්සු සහ තොප්පි පැලඳ සිය පවුල් සමඟ ඔහේ ඇවිද යමින් සිටි නිසා.

ආජන්ටිනාවේ Le Albiceleste ජාතික පාපන්දු කණ්ඩායම ත්‍රාසජනක අයුරින් ප්‍රංශය ඉරිදා පරාජය කරමින් ඔවුන්ගේ ඉතිහාසයේ තෙවැනි වතාවටත් ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ බැවින් එහි ක්‍රීඩාලෝලීන්ට ඒ ජය භුක්ති විඳීමේ අයිතිය තිබෙන බවට අඟවන ඔවුන්ගේ මේ හැසිරීම යුක්ති සහගතයි.

කටාර් නිවැසියෙකු මෙන් ම බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ද වන Mimi Mohammed පැවසුවේ ගෙවුණු සති හතරේ සිදු වූ දේ තවමත් ඉතාමත් ප්‍රබලව තමන්ට දැනෙන බව සහ ඒ සියල්ලේ කොටස්කරුවන් වීමට ලැබීම කටාර් හි ජනතාවට ලොකු ගෞරවයක් ගෙන දුන් බවයි.

එය ඇත්තෙන් ම ප්‍රබෝධයක්,” යැයි 38 හැවිරිදි ඇය කියා සිටියා.

මෙවැනි දැවැන්ත ක්‍රීඩා ඉසව්වකට සත්කාරකත්වය දීම කටාර් දේශය කළමනාකරණය කර ගන්නේ කෙසේ ද කියා තමා කල්පනා කරමින් සිටි බව දෝහා හි බොජුන් හලක කළමනාකරුවෙකු වන 45 හැවිරිදි ග්‍රීක පදිංචිකරු Zoi Zygelopoulou ලෝක කුසලාන තරගාවලියට පෙර කියා සිටියා.

මේ පීඩනය තවත් වැඩි වුනේ බටහිර මාධ්‍ය විසින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වීම පිණිස කටාර් රටට තිබෙන හැකියාව පිළිබඳව නිරන්තරයෙන් ප්‍රශ්නාර්ථ ලකුණු දැමූ බැවින්.

එහෙත් කාලය සති ගණනින් ගෙවී යද්දී, Zygelopoulouට ඇගේ බොජුන් හලේ දී මුණගැසුනු සියලුම විදෙස් සංචාරකයින් කියා සිටියේ ඔවුන් ඉතාම සන්තෝෂයෙන් පුදුමයට පත්ව සිටින බවයි.

මෙය මෙතෙක් පැවති එක් හොඳම ලෝක කුසලාන තරගාවලියක් බව ඔවුන් මට කීවා. ඔවුන් එවැන්නක් බලාපොරොත්තු නොවුනේ ඔවුන් කටාර් ගැන එච්චර දැනගෙන නොසිටි නිසායි. ජනමාධ්‍ය නිසා ඔවුන් මීට පෙර බියට පත්වෙලයි හිටියේ. නමුත් ඔවුන් මෙහි ආවාම, ඔවුන් ඉතාමත් සතුටට පත්වුනා,” යැයි Zygelopoulou ප්‍රකාශ කළා.

නගරයේ ශිශිර සෘතුව සැමවිටකම උත්සව සිරි ගත්ත ද, ඉරිදා අවසාන මහා තරගය ආරම්භ වීමට පෙර සිට ම තමා ට පශ්චාත්-ලෝක කුසලානයේ නිල් පාට හැඟීම දැනුණු බව පාකිස්තානයෙන් කටාර් රාජ්‍යයට පැමිණ සිටින Yamina Usman කියනවා.

මට දැනටමත් මොකක්දෝ දුක්ඛිත දෙයක් දැනෙනවා. හරියට, මේ සියල්ලම දැන් ඉවරයි වගේ හැඟීමක්,” යනුවෙන් 39 හැවිරිදි ඇය Al Jazeera ට පැවසුවා.

මේ තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා, ළමයින්ටත් තවම නිවාඩු තියෙන නිසා, අපි අපේ ක්‍රියාකාරකම් ගෙදරින් පිටත කරමින්, මිනිසුන් මුණගැසෙමින්, ලෝක කුසලාන තරගාවලිය අතරතුර අපි ගිය විවිධ තැන්වලට ආපසු යමින් කාලය ගත කරන්න අපි තීරණය කළා. ඒත් එය පෙර තිබූ පරිදි ම දැනෙන ක්‍රියාවක් වන එකක් නැහැ.”

මීට පෙර තිබුණු නිහඬ නගරයට හුරු වෙන්න අපට ටික කාලයක් ගත වේවි. මොකද, එය සැම විටම කඩිසරව තිබුනත්, කවදාවත් අවුල් සහගතව තිබුණේ නැහැ. මේ තරගාවලියේ හොඳම කොටස එයයි,” වසර හයක් තිස්සේ දෝහා අගනුවර ජීවත් වෙමින් සිටින Usman පවසනවා.

කටාර් ජාතික 26 හැවිරිදි Nouf al-Subaieට අනුව මේ ලෝක කුසලාන තරගාවලියෙන් ලැබුණු උසස් ම දෙය වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන් මුණගැසීම සහ ඔවුන් සමඟ අන්‍යෝන්‍යව ක්‍රියා කිරීමට අවස්ථාව උදා වීමයි.

අනෙක් රටවල පුද්ගලයන් දැන හඳුනා ගැනීමට ලැබීමත්, අනෙකුත් සංස්කෘතීන්වලට විවෘත වීමට අවස්ථාව ලැබීමත් වැදගත් කියලයි මම හිතන්නේ,” යනුවෙන් al-Subaie කියා සිටිනවා. “ලෝක කුසලාන තරගාවලිය අවසන් වී ඇති මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරන්නේ ජනතාව දිගට ම කටාර්වලට ඒවි කියලයි. ලෝකයේ අනෙක් රටවල් එක්ක අපේ ප්‍රජාවන් පාලමක් සේ කටයුතු කළ හැකි වන පරිදි කටාර් රාජ්‍යය මෙවැනි ජාත්‍යන්තර තරගාවලිවලට ඉදිරියේ දී තව තවත් සත්කාරකත්වය දක්වනු ඇතැයි මම අපේක්ෂා කරනවා.”

ලෝක කුසලාන තරගාවලිය අවසන් වූවත් දෝහා නුවර ගවේශනය කළ හැකි සහ එහි නිරත විය හැකි බොහෝ දේ, විශේෂයෙන් ශීත සෘතුවේ දී, තිබෙන බව Mohammed කියනවා.

නගරය සැබැවින්ම නිහඬයි” ඔහු පවසයි. “පැහැදිලිවම ලෝක කුසලාන තරගාවලිය විශේෂ අවස්ථාවක්. මෙවැනි ඉසව් අවුරුද්ද පුරා ම තියෙනවා දකින්න අපි කොච්චර කැමති වුනත්, එයට වැඩි වැදගත්කම තියෙන්නේ එය සීමිත කාලයකට පමණක් පැවැත්වීමයි. ඔබට පුළුවන්කම තියෙද්දී එහි සියලු ආස්වාදයන් ඔබ විඳිය යුතුයි.”

මෙතුවක් කාලයක් අනුන් විසින් පවත්වනු ලබන ලෝක කුසලාන තරගාවලි දෙස හූල්ලමින් බලා සිටි ජනතාවකට තමන්ගේ ම රටේ තමන් විසින් ම පැවැත්වූ ලෝක කුසලාන ඉසව්වකින් දැනුණු මිහිරියාව කටාර් ජනයාගේ සිත්සතන්වලින් බැහැර වීමට තව බොහෝ කාලයක් ගත වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<