Wisden තේරූ T20 ලෝක කුසලාන මූලික වටයේ හොඳම කණ්ඩායම

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2954
Wisden t20 world cup team

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ සියලු තරග ඊයේ (21) අවසන් වූ අතර, එහි දී ක්‍රීඩා කළ කණ්ඩායම්වල ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩක සංයුතියකින් යුත් සංචිතයක් ලෝ ප්‍රකට Wisden වෙබ් අඩවිය විසින් තෝරා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද වීම විශේෂත්වයක්.

ඊයේ ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරගයෙන් අවසන් වූ ලෝක කුසලානයේ මූලික වටයෙන් සුපිරි කණ්ඩායම් 12 අතරට තේරී පත් වීමට සමත් වුනේ ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, සිම්බාබ්වේ සහ අයර්ලන්ත කණ්ඩායම් වන අතර සුපිරි කණ්ඩායම් 12 අතර තරග අද (22) සිට ආරම්භ වීමට නියමිතයි.

Wisden විසින් නම් කළ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින් වන්නේ කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන අයයි.

කුසල් මෙන්ඩිස්

  • ලකුණු – 103, සාමාන්‍ය – 34.33, ප්‍රහාරක වේගය – 163.49 , වැඩිම ලකුණු – 79

ඔහු තරගාවලියේ මූලික වටයේ දී ලකුණු 40 ඉක්මවා රැස් කළ සියලු පිතිකරුවන් අතරින් තෙවැනියට වැඩිම ප්‍රහාරාත්මක වේගය සහිත පිතිකරු වනවා.

තරගාවලියේ මුල් තරග දෙකේ දී පන්දු හයකින් ලකුණු හයක් සහ පන්දු 13කින් ලකුණු 18ක් රැස් කළ කුසල්, නෙදර්ලන්තයට එරෙහි තරගයේ දී පන්දු 44කින් ලකුණු 79ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත් වීමට සමත් වුනා.

වනිඳු හරසංග

  • කඩුලු – 7, සාමාන්‍යය – 9.00, පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 5.25, හොඳම පන්දු යැවීම – 3/8

හසරංග විසින් තමන් ක්‍රීඩා කළ තරග තුනේ දී ම කඩුලු ලබා ගැනීමට සමත් වුනා. ඒ අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ නෙදර්ලන්තයට එරෙහිව කඩුලු තුන බැගින් බිඳ හෙළීමට ඔහු සමත්කම් දැක්වූයේ පිළිවෙළින් ලකුණු 8කට කඩුලු 3ක් සහ ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින්.

මහීෂ් තීක්ෂණ

  • කඩුලු – 5, සාමාන්‍ය – 14.00, පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 6.26, හොඳම පන්දු යැවීම – 2/15

මහීෂ් නැමීබියාවට එරෙහිව එක් කඩුල්ලක් දවා ගනිමින් තම කඩුලු දඩයම ආරම්භ කළ අතර, ඉන්පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු දෙකක් ද, නෙදර්ලන්තයට එරෙහිව කඩුලු දෙකක් ද දවා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ මුල් තරගයෙන් ලද පරාජයෙන් අනතුරුව ඉදිරි වටයට යාම සඳහා තම කණ්ඩායමට මහඟු දායකත්වයක් ලබා දීමට ඔහු සමත් වුනා.

මීට අමතරව මෙම ක්‍රීඩකයින් 11 දෙනා අතරට තේරී පත් වීමට නෙදර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනා බැගින් ද, ස්කොට්ලන්ත, නැමීබියා සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල එක් ක්‍රීඩකයෙකු බැගින් ද සමත් වී සිටිනවා.

Wisden සඟරාව විසින් නම් කළ කණ්ඩායම: Max O’Dowd (නෙදර්ලන්තය), Kusal Mendis (ශ්‍රී ලංකාව), George Munsey (ස්කොට්ලන්තය), Bas de Leede (නෙදර්ලන්තය), Curtis Campher (අයර්ලන්තය), Sikandar Raza (සිම්බාබ්වේ), David Wiese (නැමීබියාව), Jason Holder (බටහිර ඉන්දීය කොදෙව්), Wanindu Hasaranga (ශ්‍රී ලංකාව), Maheesh Theekshana (ශ්‍රී ලංකාව), Alzarri Joseph (බටහිර ඉන්දීය කොදෙව්)

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සියලුම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<