තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් Fitness කඩුල්ල පැනගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය 2021

488
Gunathilaka, Mendis, Rajapakse pass fitness test
Image Credits - Bhanuka Rajapaksa's Instagram

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් පවත්වනු ලැබූ කිලෝමීටර 2ක දුර ප්‍රමාණය දිවයාමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ දනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් සමත් වී තිබෙනවා. එම පරීක්ෂණය අද (16) උදෑසන පැවැත්වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබෙන අතර ඔවුන් සඳහා පසුගිය 12 වැනිදා මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුනා. 

ඒ සඳහා ක්‍රීඩකයින් 32 දෙනෙකු සහභාගී වුනත් ධනුෂ්ක ගුණතිලක (වයස අවුරුදු 29), භානුක රාජපක්ෂ (වයස අවුරුදු 29), කුසල් පෙරේරා (වයස අවුරුදු 30) සහ දිල්රුවන් පෙරේරා (වයස අවුරුදු 38) යන ක්‍රීඩකයින්‍ සිව්දෙනා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

එසේම ලහිරු තිරිමාන්න (කොරෝනා සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින නිසා), කුසල් මෙන්ඩිස් (සිය මංගල උත්සවය නිසා), ධනංජය ද සිල්වා (ආබාධය තවමත් සුවවී නොමැති නිසා) සහ අවිශ්ක ප්‍රනාන්දු (වළලුකර ආශ්‍රිතව ආබාධයක් නිසා) සහභාගී වුනේ නැහැ.

කෙසේ නමුත් එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වූ දනුෂ්ක, භානුක සහ පළමු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වීමට නොහැකි වුනු කුසල් මෙන්ඩිස් අද පැවති පරීක්ෂණය සඳහා සහභාගී වුනා. එහි දී ඔවුන් තිදෙනා  මේ කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය මිනිත්තු 8කුත් තත්පර 35කට නොඅඩු කාලයක් තුල සම්පූර්ණ කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා ගත කල කාලයන් පහත දැක්වෙනවා.

  • කුසල් මෙන්ඩිස් – මිනිත්තු 8 තත්පර 18
  • දනුෂ්ක ගුණතිලක – මිනිත්තු 8 තත්පර 23
  • භානුක රාජපක්ෂ – මිනිත්තු 8 තත්පර 27

තවද කොරෝනා වයිරසය ආසාදනය වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ ලහිරු තිරිමාන්න මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙන අතර තිරිමාන්න හෙට (17) දිනයේ සිට සිය මූලික පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව සිටිනවා. තවද කුසල් ජනිත් පෙරේරා ලබන සතියේ දී සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා මුහුණ දීමට සූදානමින් සිටින අතර කොදෙව් සංචාරය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ද වාර්තා වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<