ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අවසන්, 4ක් අසමත්!

3521
Capture Courtsey - SLC

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය මැන බැලීම සඳහා අලුතින්ම හඳුන්වා දෙනු ලැබූ, නියමිත කාලයක් ඇතුළත කිලෝමීටර දෙකක දුරක් දුව යාමේ පරීක්ෂණය අද (12) කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වුනා. එහි දී ක්‍රීඩකයින් සිව්දෙනෙකුට එම පරීක්ෂණය සමත් වීමට නොහැකිව තිබෙන බව ද ThePapare.com වෙත වාර්තා වෙනවා.

තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන කොදෙව් – ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවති මේ පරීක්ෂණය සඳහා ක්‍රීඩකයින් 36 දෙනෙකු සහභාගී වීමට නියමිතව සිටියා. 

කෙසේ නමුත් මේ පරීක්ෂණය සඳහා ලහිරු තිරිමාන්න (කොරෝනා සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින නිසා), කුසල් මෙන්ඩිස් (සිය මංගල උත්සවය නිසා), ධනංජය ද සිල්වා (ආබාධය තවමත් සුවවී නොමැති නිසා) සහ අවිශ්ක ප්‍රනාන්දු (වළලුකර ආශ්‍රිතව ආබාධයක් නිසා) සහභාගී නොවුණු නමුත් අනෙක් ක්‍රීඩකයින් සියලුම දෙනා මේ පරීක්ෂණයට මුහුණ දුන්නා.

තවත් ක්‍රිකට් පුවත්:

එහි දී ඔවුන් මේ කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය මිනිත්තු 8කුත් තත්පර 35කට නොඅඩු කාලයක් තුල දිව යුතුව තිබුණු නමුත් ධනුෂ්ක ගුණතිලක (වයස අවුරුදු 29), භානුක රාජපක්ෂ (වයස අවුරුදු 29), කුසල් පෙරේරා (වයස අවුරුදු 30) සහ දිල්රුවන් පෙරේරා (වයස අවුරුදු 38) යන ක්‍රීඩකයින් සිව්දෙනා හට මේ පරීක්ෂණය සමත් වීමට අවස්ථාව ලැබී නොමැති බවයි ThePapare.com වෙත වාර්තා වන්නේ.

  • ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අවසන් කළ වනිඳු හසරංග Image Credits - SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් මෑතක දී පත්වීම් ලබා ගත් දකුණු අප්‍රිකානු ජාතික Grant Luden මහතා මේ පරීක්ෂණය පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියා.

“මේ ක්‍රමයට ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බැලීම ඉතාමත් සාර්ථක බවයි මම හිතන්නේ. කවුරු හරි ක්‍රීඩකයෙක් මේ පරීක්ෂණය අසමත් නම් ඔහුට දින 40ක කාලයක් ඇතුළත නැවතත් ඔහුගේ හැකියාවන් පෙන්නන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම ඉදිරියේ දී පන්දු යවන්නන්, පිතිකරුවන් සහ කඩුලු රකින්නන් වෙන වෙන විදිහට කාණ්ඩගත කරලා ඔවුන්ට වෙන වෙනම ඉලක්ක සහිත වේලාවන් ලබා දෙන්න අපි දැනට සැලසුම් කරලා තියෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික ශක්තිය වර්ධනය කිරීම වෙනුවෙන් මේ මහතාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාගෙන තිබෙන අතර Luden ඒ පිළිබඳ විශේෂඥයකු වෙනවා. ඔහු  ශ්‍රී ලංකා ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින කණ්ඩායම් සියල්ලෙහිම ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව කටයුතු කරනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <