ශ්‍රී ලංකාව සමඟින් තරගයට එන පාකිස්තාන බලඇණිය

Pakistan Tour of Sri Lanka 2023

1779

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරග 2023-2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් තරග බැවින් එම තරගාවලියේ දී දෙරටේ ක්‍රීඩකයන්ගේ මංගල තරගාවලිය වන්නේ මෙයයි.

ICC ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පාකිස්තානය අංක 6 ස්ථානයේ සිටිමිනුත් සහ ශ්‍රී ලංකාව අංක 7 ස්ථානයේ සිටිමිනුත් මෙම තරගාවලිය හා එක් වීමට නියමිතයි.

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 16 – 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • දෙවැනි ටෙස්ට් තරගය – ජූලි 24 – 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙතෙක් මේ දක්වා ටෙස්ට් තරග 57ක් පවත්වා ඇති අතර ඉන් තරග 21ක ජයග්‍රහණය පාකිස්තානය සතු වෙනවා. තරග 17ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන අතර තරග 19ක් විසඳුමකින් තොරව අවසන් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අවසන් වරට හමුව ඇත්තේ 2022 වසරේ දී මෙරට දී. එවිට ද තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියකට ඔවුන් මුහුණ දෙන අතර තරගාවලිය නිමා කරන්නේ 1-1ක් ලෙසින් සම ශූරයන් වෙමිනුයි.

එහි දී ලත් ජයග්‍රහණය ඔවුන් ලැබූ අවසන් ජයග්‍රහණය ලෙසයි සටහන් වෙන්නේ. ඉන් අනතුරුව ඔවුන් ටෙස්ට් තරග 6කට එක් වන අතර ඉන් තරග 4ක් පරාජය වී ඇති අතර තරග 2ක් විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා.

පාකිස්තානය මෙම වසරේ දී මෙතෙක් සහභාගී වී ඇත්තේ එක් ටෙස්ට් තරගයකට පමණයි. ඒ ජනවාරියේ දී පැවති නවසීලන්තය සමඟ තරගයටයි. එම තරගය ද අවසන් ව ඇත්තේ විසඳුමකින් තොරවයි.

  • පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් සංචිතය: Babar Azam (නායක), Abdullah Shafique, Imam-ul-Haq, Shan Masoo, Saud Shakeel, Hasan Ali, Mohammad Rizwan (උප නායක සහ කඩුලු රකින්නා), Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (කඩුලු රකින්නා), Abrar Ahmed, Shaheen Afridi, Aamir Jamal.

Babar Azam

28 වැනි වියේ පසු වන පාකිස්තාන නායක Babar Azam මේ දක්වා ටෙස්ට් තරග 47කට ක්‍රීඩා කරමින් ශතක 9ක් සහ අර්ධ ශතක 26ක් සමඟින් ලකුණු 3989ක් ලබා සිටින ක්‍රීඩකයෙක්. ඒ අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් තරග 6ක ඉනිම් 11ක දී ලකුණු 572ක් ලබා තිබෙනවා.

ඔහු අවසන් වරට නිමා කළ අවසන් ටෙස්ට් තරග 5ක ඉනිම් 10ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 574ක් ලබා සිටිනවා.

ටෙස්ට් තරග 18කට නායකත්වය දී ඇති Babar Azam එම තරගවලින් තරග 6ක් ජයග්‍රහණය කරා මෙහෙයවද්දී තරග 6ක් පරාජය වී තිබෙනවා. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 4ක්.

Mohammad Rizwan

31 හැවිරිදි වියේ පසුවෙන Mohammad Rizwan කණ්ඩායමේ උපනායකයා සේ ම කණ්ඩායමේ කඩුලු රකින්නා ද වෙනවා. මේ දක්වා ටෙස්ට් තරග 27ක ඉනිම් 43කට මුහුණ දෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1373ක් ලබා සිටින අතර කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 72කට සම්බන්ධ වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ තරග 4කට එක් වී ඇති Rizwan ලබා ඇති ලකුණු සංඛ්‍යාව 145ක්. ඔහුගේ අවසන් තරග 5 දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ ඉනිම් 10ක දී ලබාගත් ලකුණු 261ක්.

Abdullah Shafique

23 වැනි වියේ පසුවෙමින් ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායම හා එක් වන Abdullah Shafique මේ දක්වා ටෙස්ට් තරග 12ක ඉනිම් 23ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 992ක් ලබා සිටින ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකාව සමඟින් ආසන්න වශයෙන් නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී ඉනිම 4ක දී ලකුණු 189ක් ලබා ගන්නා Shafique ඔහුගේ තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කරන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහිවයි. ඒ ගාල්ලේ දී පැවති තරගයේ දී පන්දු 408කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරකින් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 160යි.

Shaheen Afridi

කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා වන 23 හැවිරිදි වියේ පසුවෙන Shaheen Afridi මේ දක්වා ටෙස්ට් තරග 25කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 99ක්. ඉන් කඩුලු 12ක් දවා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Shan Masoo

පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු වන 33 හැවිරිදි වියේ පසුවෙන Shan Masoo මේ දක්වා ටෙස්ට් තරග 28ක ඉනිම් 53ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1500ක්. ඉන් ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 381ක් ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Imam-ul-Haq

27 වැනි වියේ පසු වන ඉදිරිපෙළ වමත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන Imam-ul-Haq මේ වන විට ටෙස්ට් තරග 20ක ඉනිම් 39ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1417ක්. ඊට ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 118ක් ද ඇතුළත්.

අවසන් ටෙස්ට් තරග 5 දී ඔහුගේ දක්ෂතාව, ඉනිම් 10දී  ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 525ක්.

Abrar Ahmed

24 වැනි වියේ පසුවෙන Abrar Ahmed පා දඟපන්දු යවන්නෙක් ලෙසයි කණ්ඩායම හා එක් වෙන්නේ. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 4කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 28ක්.

තම මංගල තරගයේ දී ම ලකුණු 114කට කඩුලු 7ක් දවා ගන්නා ඔහු එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගන්නවා. එම තරගයේ දී ලකුණු 234කට ලබා ගත් කඩුලු 11 ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීමයි. ශ්‍රී ලංකාව සමඟ තරගාවලියකට එක් වෙන්නේ පළමු වතාවටයි.

Hasan Ali

29 හැවිරිදි වියේ පසුවෙන Hasan Ali කණ්ඩායම හා එක්වෙන්නේ වේගපන්දු යවන්නෙක් ලෙසයි. මේ දක්වා ටෙස්ට් තරග 22කට සහභාගී වී ඇති Hasan Ali කඩුලු 78ක් ලබා සිටිනවා. ඉන් කඩුලු 6ක් ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Mohammad Nawaz

29 වැනි වියේ පසු වන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් පාකිස්තාන කණ්ඩායම හා එක් වන Mohammad Nawaz මේ දක්වා ටෙස්ට් තරග 6ක දී ලකුණු 144ක් සහ කඩුලු 16ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

මීට පෙර මෙරට සංචාරය කළ පාකිස්තාන කණ්ඩායම හා එක් වූ ඔහු එහි තරග 2 දී කඩුලු 10ක් ලබා ගනිමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත්වුනා. එහි දී ගාල්ලේ දී ලකුණු 88කට කඩුලු 5ක් සහ තරගයේ දී ලකුණු 106කට කඩුලු 6ක් දවා ගනිමින් තම ටෙස්ට් තරග දිවියේ ඉනිමක සහ තරගයක හොඳම පන්දු යැවීම් වාර්තා කිරීමට සමත් වුනා.

Saud Shakeel

27 වැනි වියේ පසුවෙන Saud Shakeel කණ්ඩායම හා එක් වෙන්නේ මැදපෙළ පිතිකරුවෙක් ලෙසයි. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 5ක ඉනිම් 10ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 580ක් ලබා තිබෙනවා. එහි සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 72.5ක්. ශ්‍රී ලංකාව සමඟ තරගාවලියකට එක් වෙන පළමු අවස්ථාවයි මේ.

Naseem Shah

20 හැවිරිදි වියේ පසු වන දකුණතින් වේගපන්දු යවන Naseem Shah මේ දක්වා ටෙස්ට් තරග 15කට මුහුණ දෙමින් කඩුලු 42ක් ලබා ඇති ක්‍රීඩකයෙක්. ඉන් කඩුලු 14ක් ම වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව වන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ ද මෙරට ට විරුද්ධවයි. ඒ 2019 වසරේ දී Karachi හි දී ලකුණු 31කට ලබා ගත් කඩුලු 5යි.

Salman Ali Agha

29 වැනි වියේ පසු වන Salman Ali Agha කණ්ඩායමට නම් කර ඇති තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 447ක් සහ කඩුලු 6ක් දවාගෙන තිබෙනවා. පෙර තරගාවලියේ දී ද මෙරට පිවිසි ක්‍රීඩකයෙක්.

Noman Ali

36 වැනි වියේ පසුවෙන වමතින් පා දඟපන්දු යවන Noman Ali මේ දක්වා ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කරමින් කඩුලු 37ක් ලබා සිටින ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාව සමඟින් මෙතෙක් සහභාගී වී ඇත්තේ එක් තරගයකට පමණක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 2ක් පමණයි.

Sarfaraz Ahmed

36 වැනි වියේ පසු වන Sarfaraz Ahmed කඩුලු රකින පිතිකරුවෙක් ලෙසයි කණ්ඩායම හා එක් වෙන්නේ. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 51ක ඉනිම් 90ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 2992ක් ලබා ඇති අතර කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 172කට දායකත්වය දැක්වීමට ඔහු සමත් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ දක්ෂතා දැක්වෙන්නේ තරග 9ක දී ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 722ක්.

Aamir Jamal

27 වැනි වියේ පසු වන Aamir Jamal මෙතෙක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ එක් විස්සයි විස්ස තරගයක් පමණයි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායම හා එක් වන ඔහු මේ දක්වා පළමු පෙළ තරග 23කට සහභාගී වී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 558ක් සහ පළමු පෙළ කඩුලු 64ක් ලබා සිටිනවා.

Mohammad Huraira

21 හැවිරිදි වියේ පසු වන Mohammad Huraira පාකිස්තාන කණ්ඩායම හා එක් වෙන කෝඩුකාරයෙක්. පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායමට නම් කර ඇති ඔහු පළමු පෙළ තරග 24ක ඉනිම් 38ක දී ශතක 8ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 2252ක් ලබා සිටින ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<