ඉන්දියාව 357/6

India Tour of Sri Lanka 2026

2

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ 2 වැනි දිනය නිමා වෙන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 357ක් ලබා සිටියා.  

ඒ පළමු දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 363ට පිළිතුරු ලෙසයි.  

කොළඹ,  NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී මේ වෙද්දි ඉන්දීය ක්‍රීඩකයෝ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා පසුවෙන්නේ ලකුණු 6ක් පිටුපසින්. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම තරගය පළමු දිනයට අවසන් වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 363ක් ලබා සිටි අතර අද උදෑසන ඔවුන් පිටියට නොපිවිසෙමින් ම ඉනිම අත්හිටුවනවා.  

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Devdutt Padikkal. ඔහු දිනය අවසන් වෙද්දී පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී ලකුණු 142ක් ලබා සිටියා.  

ඔහු තමන්ගේ ඉනිම තුළ දී නායක KL Rahul හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 138ක දී ලකුණු 96ක සබඳතාවක් ගොඩ නගනවා. ඔහු එම සබඳතාවට එක් වෙන්නේ ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල 2 වැනි පන්දුවේ දී දැවී ගිය පසුවයි. එහි දී KL Rahul පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.  

ඉන් අනතුරු ව ඔහු Ravindra Jadeja හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 98ක දී ලකුණු 72ක සබඳතාවක් ද ගොඩනගනවා. Ravindra Jadeja ඉනිම අතර මඟ හැර යන විට පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා.  

ඔවුන්ට අමතර ව Manav Suthar පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද, දිනය අවසන් වෙද්දී Gurnoor Brar පන්දු 18ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණ්ු 36ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී අසංක මනෝජ් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව කේශර නුවන්ත සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා ක්‍රිකට්XI කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 363 (90.0) නිශාන් මදුශ්ක 66, රවිඳු රසාන්ත 71, පසිඳු සූරියබණ්ඩාර 35, පවන් රත්නායක 39, අහන් වික්‍රමසිංහ 31, සොනාල් දිනූෂ 52, රමේෂ් මෙන්ඩිස් 32,  Ravindra Jadeja 2/64, Kuldeep Yadav 2/76, Manav Suthar 2/33 
  • ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 357 (90.0)KL Rahul 40, Devdutt Padikkal 142, Ravindra Jadeja 63, Manav Suthar 41, Saransh Jain 22, Gurnoor Brar නොදැවී 36, රමේෂ් මෙන්ඩිස් 2/77, අසංක මනෝජ් 2/32 

ඉන්දියාව ලකුණු 6ක් පිටුපසින්. 

මෙම තරගය හෙට (9) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<