2021 IPL සඳහා ශ්‍රී ලංකාවෙන් නව දෙනෙක් 

IPL ක්‍රිකට් තරගාවලිය 2021 

1305

2021 IPL ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වී ඇති නමුත් ඉන් තේරීපත් වී තිබෙන්නේ 9 දෙනෙකුගේ නම් පමණි. 

ඒ අනුව පෙබරවාරි මස 18 වැනිදා චෙන්නායිහි දී පැවැත්වෙන IPL ක්‍රීඩක වෙන්දේසියේ දී මෙම ක්‍රීඩකයින්ගේ නම් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වෙනු ඇත. 

කුසල් ජනිත් පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත් සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් මෙසේ මෙම වෙන්දේසිය සඳහා තේරීපත් වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 9 දෙනා වේ. 

මෙම ක්‍රීඩකයින් 9 දෙනා අතුරින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩකයින් සිටින්නේ 6 දෙනෙකකු පමණක් වන අතර මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත් සහ කෙවින් කොත්තිගොඩ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති ක්‍රීඩකයින් තිදෙනා වේ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා තේරීපත්ව තිබෙන ක්‍රීඩකයින් 9 දෙනා අතුරින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන ක්‍රීඩකයින් 6 දෙනා සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක (එක් අයෙකුට) අවම ලංසු මුදලක් හිමිව තිබෙන අතර අනෙක් නවක යොවුන් ක්‍රීඩකයින් තිදෙනා සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 20ක (එක් අයෙකුට) අවම ලංසු මුදලක් ලැබී තිබේ. 

පළමු වරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණයෙන් වැඩි දස්කම් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන දසුන් ශානක (තරග 9) සහ තිසර පෙරේරා (තරග 10) පිළිවෙලින් ලකුණු 278ක් සහ ලකුණු 261ක් රැස්කර ගැනීමට සමත් විය. එසේම තිසර පෙරේරා සිය නායකත්වය ලබා දුන් Jaffna Stallions කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට ද සමත් විය. 

එම තරගාවලියේ දී Jaffna Stallions කණ්ඩායම වෙනුවෙන් තරග 10ක දී කඩුලු 17ක් දවා ගනිමින් එම ඉතිහාසගත තරගාවලියේ වීරයා බවට පත්වූ වනිඳු හසරංග ද මෙම ක්‍රීඩකයින් 9 දෙනා අතර සිටියි. එහිදී දුෂ්මන්ත චමීර ද තරග 8ක දී කඩුලු 8ක් දවා ගැනීමට සමත් විය. කුසල් පෙරේරා සහ ඉසුරු උදාන හට 2020 LPL තරගාවලිය තුළ එතරම් දස්කම් දැක්වීමට නොහැකි වුනු නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලබාගෙන තිබෙන අත්දැකීම් සහ විදෙස් ලීගයන් සඳහා සහභාගී වී තිබෙන අත්දැකීම් ඔවුන් දෙදෙනා සතුව නොඅඩුව තිබේ. තවද පසුගිය වර තරගාවලියේ (IPL 2020) දී ඉසුරු උදාන RCB කණ්ඩායම නියෝජනය කළේය. 

LPL තරගාවලිය හරහා ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් Jaffna Stallions යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක (වයස අවුරුදු 19ක් වන) විජයකාන්ත් වියස්කාන්ත් ද මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබීම විශේෂත්වයකි. ඊට අමතරව පසුගියදා නිමාවුනු අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී දස්කම් දැක්වූ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ කෙවින් කොත්තිගොඩ ද මෙම ක්‍රීඩකයින් අතර සිටියි. 

2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් Northern Warriors කණ්ඩායමට ශූරතාවය දිනා ගැනීම සඳහා මඟ සකස් කළ මහීෂ් තීක්ෂණ එම තරගයේ වීරයා විය. 

2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1097 දෙනෙකු ලියාපදිංචි වී තිබීම විශේෂත්වයකි. ඉන් ක්‍රීඩකයින් 814ක් ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි ක්‍රීඩකයින් 283 දෙනා විදෙස් ක්‍රීඩකයින්ය. 

කෙසේ නමුත් සිදුකරන ලද තේරීම් වලට පසුව (shortlisted) මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන්නේ ක්‍රීඩකයින් 292 දෙනෙකු පමණි. ඉන් 164 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර අනෙක් ක්‍රීඩකයින් 128 දෙනා විදෙස් ක්‍රීඩකයින් වේ. 

2021 වසරේ අප්‍රේල් මාසයේ දී 14 වන IPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනට සැලසුම් කර තිබේ. දෙස් විදෙස් කෙළිබිමේ නවතම තොරතුරු දැනගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න. 

ඒ ඒ කණ්ඩායම් සඳහා ඉතිරිව තිබෙන මුදල් සංචිතයන් සහ හිස්ව තිබෙන ක්‍රීඩක අසුන් ගණන පහත පරිදි වේ, 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<