ධනංජය ද සිල්වාට විදෙස් ලීග් තරගාවලියකට වරම්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

961

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ධනංජය ද සිල්වා වන අතර මීට පෙර තිසර පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එම කණ්ඩායම සමඟ එක් වුනා.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අංක 03 පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කළ ධනංජය තරග අටක් තුළ ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ඔහු තරග ආකෘතීන් තුනෙහිම තුන් ඉරියව් දස්කම් දක්වන අතර ඔහු මේ දක්වා ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 45ක් එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

9 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන (2023) වසරේ ජනවාරි 06 වැනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<