මහීෂ් සහ ධනංජය ඇතුළු Northern Warriors T10 කිරුල දිනයි

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

236

ශ්‍රී ලංකා තරුණ දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන මහීෂ් තීක්ෂණ සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ක්‍රීඩා කළ Northern Warriors 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඊයේ (6) සමත් වුනා. Northern Warriors හමුවේ කඩුලු 8කින් පරාජයට පත්වූ Delhi Bulls අනුශූරතාවය දිනා ගත්තා. තරගය Abu Dhabi නුවර Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

කාසියේ වාසිය දිනා ගත් Northern Warriors නායක Nicholas Pooran ඔවුන්ගේ ප්‍රතිවාදීන් වුනු Delhi Bulls කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටි අතර ඔවුන් නියමිත පන්දුවාර 10 අවසානයේ දී ලබා ගත්තේ ලකුණු 81ක් පමණයි.

වයස අවුරුදු 20ක් වන මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර දෙක තුල ලකුණු 14ක් ලබා දෙමින් Evin Lewis, Ravi Bopara සහ නායක Dwayne Bravo යන ප්‍රබල සහ ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ කඩුලු 3 දවා ගැනීමට සමත් විය. ඊට අමතරව අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවෙන්  සහභාගී වූ අනෙක් ක්‍රීඩකයා වුනු 22 හැවිරිදි ධනංජය ලකුණු 14කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

තවත් ක්‍රිකට් පුවත්:

අවසානයේ දී පන්දුවාර 8කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී Delhi Bulls ලබා දුන් ලකුණු 81 ඉලක්කය පසුකර යාමට Northern Warriors කණ්ඩායමට හැකි වුනා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ මහීෂ් තීක්ෂණයි.

සමස්තයක් ලෙස මහීෂ් මෙවර තරගාවලිය තුල තරග තුනකට සහභාගී වී කඩුලු 4ක් දවාගෙන දස්කම් පෙන්වන විට ධනංජය තරග 7කදී කඩුලු 5ක් දවාගත්තා.

තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා පැවති තරගයේ දී Qalanders පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට Team Abu Dhabi සමත් වූ අතර Team Abu Dhabi කණ්ඩායමේ කණ්ඩායම් උපදේශක ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙක් වන කුමාර් සංගක්කාරයි.

තවද හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන තිලිණ කණ්ඩම්බි Bangla Tigers කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔවුන් තරග 6න් තරග දෙකක් ජයග්‍රහණය කරමින් තරගාවලිය අවසානයේ දී 5 වැනි ස්ථානය දිනා ගත්තා. 

Bangla Tigers නියෝජනය කළ ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්ව හා සමාන ඉරියව්වකින් පන්දු යවන වයස අවුරුදු 18ක් වන මතීෂ පතිරණ තරගාවලිය පුරාවට තරග තුනක් ක්‍රීඩා කරමින් ලකුණු 36කට කඩුලු 2ක් (පන්දුවාර 6ක් තුල) දවා ගත් අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 9කට කඩුලු 2ක් දවා ගැනීම සටහන් වුනා.

මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වුනු Maratha Arabians නියෝජනය කළ කෙවින් කොත්තිගොඩ ඔහු ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම ආබාධයකට ලක්වුනා. වම් දණහිස ආශ්‍රිතව ඇතිවූ එම අවාසනාවන්ත ආබාධය නිසාවෙන් ඔහුට තරගාවලිය අත්හැර දමා ඒමට සිදු වූ අතර ඔහුට ශල්‍යකර්මයක් ද සිදු වුනා.

සමස්තයක් ලෙස බැලූ කල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති මේ තරුණ ක්‍රීඩකයින් සියලුම දෙනා ඉතාමත් හොඳින් සිය දස්කම් ප්‍රදර්ශනය කළ අතර T10 වැනි පිතිකරුවන් සඳහා වැඩි ඉඩක් ලබා දෙන තරගාවලියක් තුල මහීෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් ඇතුළු සියලුම ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දස්කම් ඉතාමත් අගනේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<