විවේචනවලට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ උත්තර දෙයි

426

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (28) නිමා වුනේ බංග්ලාදේශය ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලියක් ජයග්‍රහණය කරමිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජය වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචන එල්ල කර තිබූ පසුබිමක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටියා. එහි දී ඔහු එල්ල වූ විවේචනවලට ද පිළිතුරු ලබා දී තිබුණා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව ක්‍රීඩා කළ අතර කණ්ඩායමට නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වුනා. තරගාවලිය පරාජය වීමට මූලික හේතුව තේරීම් කමිටුව විසින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කිරීම මෙන්ම අත්දැකීම්වලින් අඩු ක්‍රීඩකයන් යොදාගැනීම බවත් බොහෝ දෙනා පවසා සිටියා.

The Morning Sports වෙත අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

“අත්දැකීම් අඩු ක්‍රීඩකයන් කණ්ඩායමට යොදාගැනීම සම්බන්ධයෙන් තියන විවේචනවලට මම මුලින්ම උත්තර දෙන්නම්. බංග්ලාදේශ තරගාවලියේ පළමු තරග දෙක ක්‍රීඩා කළ කණ්ඩායම ගත්තම ඒ කණ්ඩායමේ ක්‍රීඩා කළ එකොළොස් දෙනාගෙන් අවම වශයෙන් ක්‍රීඩකයන් හත් දෙනෙක් 2015 ඉඳන් කණ්ඩායමට ක්‍රීඩා කරන අය. අපි ගත්තොත් කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, දුශ්මන්ත චමීර සහ ඉසුරු උදාන වගේ ක්‍රීඩකයන් නවක ක්‍රීඩකයන් නෙමෙයි” වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

බංග්ලාදේශ තරගාවලිය සඳහා වෙනස් කණ්ඩායමක් යොදාගැනීමේ මූලික අරමුණ 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා දිගු කාලීන සැලසුම් රැසක් තම තේරීම් කමිටුව විසින් ක්‍රියාත්මක කර තිබීම බව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටියා.

“මේ කණ්ඩායම නවක සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ සංයෝජනයක්. මේක සම්පූර්ණ අළුත් කණ්ඩායමක් විදිහට මම දකින්නේ නැහැ. අපේ ඉලක්කය 2023 ලෝක කුසලාන තරගාවලිය. මේ ක්‍රීඩකයන්ට සැලකිය යුතු මට්ටමකින් අත්දැකීම් තියනවා. ඔවුන් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයන් නෙමෙයි. අපි මේ කණ්ඩායම තෝරාගත්තේ ඉදිරියට යන මූලික බලාපොරොත්තුව එක්ක.”

“බංග්ලාදේශයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම තමයි අපේ ක්‍රීඩකයන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න හොඳම අය. කවදාහරි දවසක ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕනේ. කවුරු හරි ඒක කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව සාර්ථක අනාගතයක් ගැන හිතන්න බැහැ. අපේ මූලික ඉලක්කය 2023 ලෝක කුසලාන තරගාවලිය.”

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායම සඳහා ඇතුළත් නොවීම බොහෝ අවධානයට යොමුව තිබූ අතර ඔවුන් නැවත කණ්ඩායම සඳහා එක්කරගන්නේ දැයි බොහෝ දෙනා විමසා තිබුණා.

“මම කවදාවත් කියලා නැහැ ජ්‍යේෂ්ඨයන්ගේ කාලය ඉවරයි කියලා. බංග්ලාදේශ තරගාවලිය සඳහා අපි තෝරාගත්තේ නැති දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිසිම කෙනෙක්ට මම කිසිම දෙයක් කියලා නැහැ. මම ඔවුන්ට අපේ දැක්ම අපේ සැලසුම් ගැන කියලා තියෙන්නේ. ඒ වගේම ඒ සැලසුම් වලට ඔවුන් ඇතුළත් වෙන්නේ කොහොමද කියලත් මම කියලා තියෙන්නේ” වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

“මේ තරගාවලියේ දී අපි නවක ක්‍රීඩකයන් කීපදෙනෙකුට අවස්ථාවක් දුන්නා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හයක්, හතක් එක්ක ක්‍රීඩා කරන්න. මම හිතන්නේ දැන් අපිට පැහැදිලිව පේනවා අපි ඉන්න තැන. ඒ වගේම මේ තැන ඉඳන් ඉස්සරහට යන්න අපි කරන්න ඕනේ මොනවද කියලත් අපිට පේනවා.” 

නව තේරීම් කමිටුවට එල්ල වන විවේචන පිළිබඳව තමන් කිසිදු තැකීමක් නොකරන බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එහි දී පවසා සිටියා.

“අපි යම් අලුත්, නැවුම් දෙයක් කරන්න උත්සාහ කරද්දී අපි ලොකු විවේචන බලාපොරොත්තු වෙන්න ඕනේ. විශේෂයෙන් සමාජ මාධ්‍යවලින්. අපි මෙතනට ආවේ ඒක ගැන දැනගෙන. විවේචන කියන දේවල් අපිට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.”

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 97කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ ජයග්‍රහණය බංග්ලාදේශ කණ්ඩායම සතු වුනේ 2-1 ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී එංගලන්ත කණ්ඩායම සමඟින් තරගාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<