CR හා CH වැජඹුණු දෙවැනි දිනය

CR&FC සියවස් සත් සාමාජික රග්බි තරගාවලිය 2023

516
CR & FC

CR&FC Centenary සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි දිනය අද (1) Longdon පෙදෙස CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

දෙවැනි දිනය නිමා වෙද්දී කාණ්ඩ අදියරේ අපරාජිතව සිටීමට CR& FC හා CH&FC සමත් වුනා.

සියවසක අභිමානය සමරන CR&FC ක්‍රීඩා සමාජය CR&FC Centenary සත් සාමාජික රග්බි තරගාවලිය සංවිධානය කරන අතර පිරිමි, කාන්තා හා පාසල් කණ්ඩායම් රැසක් තරගාවලියට එක්ව ක්‍රීඩා කරනවා.

පසුගිය සිකුරාදා (31) පැවති තරගාවලියේ පළමු දිනයේ දී පාසල් කණ්ඩායම් අතර තරග පැවැත්වුණු අතර කාන්තා හා පිරිමි ක්‍රීඩා සමාජ තරග අද ආරම්භ වුනා.

සත්කාරක CR&FC දිනය අවසන් වන විට අපරාජිතව සිටින්නට සමත් වුනා. ඔවුන්ගේ පළමු තරගය තියුණු මුහුණුවරක් ගත් අතර යුධ හමුදා කණ්ඩායම සමඟ තරගය ලකුණු 19-19ක් ලෙස ලකුණු සමව අවසන් වුනා.

CR&FC සිය දෙවැනි තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ තරගය වැදුණු අතර ලකුණු 21-19ක් ලෙස සත්කාරක කණ්ඩායම ජය ගන්නට සමත් වුනා. දිනයේ අවසන් තරගයේ දී ඔවුන් ලකුණු 17-00ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පහසුවෙන් පරාජය කළා.

A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ මහනුවර ක්‍රීඩා සමාජයයි. ඔවුන් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 36-00ක් ලෙසත්, යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 31-05ක් ලෙසත් පරාජය කළා. යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

CH&FC ඔවුන්ගේ පළමු වටයේ තරග තුනම ජය ගත්තා. ඔවුන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 27-05ක් ලෙස පරාජය කළ අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 36-05ක් ලෙස පරාජය කළා. නාවික හමුදා ක්‍රීඩා සමාජය CH&FC හමුවේ පරාජය වුනේ ලකුණු 36-00ක් ලෙසයි.

B කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ හැව්ලොක් රැඳී සිටින්නේ නාවික හමුදා ක්‍රීඩා සමාජය (24-12) හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (21-12) පරාජය කරමිනුයි.

කාන්තා කාණ්ඩයේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ BWRC Australia කණ්ඩායමයි. ඔවුන්ගේ පළමු තරගය යුධ හමුදා ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 19-19ක් ලෙස ලකුණු සම වුනා.

BWRC Australia කණ්ඩායම විසින් CR&FC කාන්තා කණ්ඩායම ලකුණු 41-00ක් ලෙස පරාජය කළ අතර  Doha RFC ක්‍රීඩිකාවන් ලකුණු 31-00ක් ලෙස පරාජය කළා. යුධ හමුදා කාන්තා ක්‍රීඩා සමාජය කාන්තා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

තරගාවලියේ ඉතිරි තරග සියල්ල හෙට (2) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සජීව විකාශය සහ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<