ක්‍රිකට් පිටියත් රග්බි පිටියත් කැලතූ පතන වීරයා

3666

නිමා වූ තර්ස්ටන් – ඉසිපතන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවමින් පිටියට පිවිසි නවීන් කනිෂ්ක, එළඹෙන තර්ස්ටන් – ඉසිපතන රග්බි වාර්ෂික මහා තරගයේ දී ද ඉසිපතන කණ්ඩායම මෙහෙයවමින් පිටියට පිවිසීමට නියමිතයි.

ක්‍රීඩා දෙකක නායකත්වයේ කටයුතු කරමින් එක ම අවදියක දී විද්‍යාලය වෙනුවෙන් ලොකු වගකීමක් දැරීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. මෙම කණ්ඩායම් දෙකට ම නායකයා ලෙස මම පත් කිරීම සම්බන්ධයෙන් මම පාසල් ප්‍රජාවට ස්තුතිවන්ත වෙනවා වගේ ම ඒ ක්‍රීඩා දෙකට ම සාධාරණයක් ඉටු කරන්න මම බැඳී සිටිනවා,” නවීන් කණිෂ්ක  ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

තාත්තට තමයි මාව රගර් ක්‍රීඩකයෙක් කරන්නත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්නත් උවමනා වුනේ. මට යංතම් අවුරුදු 7-8ක් වෙද්දී මම උදේට රගර් පුහුණුවීම්වලට ගියා, හවසට ක්‍රිකට් පුහුණුවීම්වලට ගියා. අදටත් මගේ කාලසටහන ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට,” නවීන් තව දුරටත් පැවසුවා.

නවීන්ගේ පියා නලින් ප්‍රේමරත්න. රගර් පුහුණුකරුවෙක් ලෙසින් දශක ගණනාවක් තිස්සේ කටයුතු කරන්නෙක්. නවීන්ගේ කුඩා කාලයේ ඔහු ඉසිපතන විද්‍යාලයේ රග්බි පුහුණුකරු. වර්තමානයේ ඔහුගේ සේවා ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලය.

තාත්තා රග්බි පුහුණුකරුවෙක් වීම හේතුවෙන් ම මම රග්බි ක්‍රීඩාවට යොමු කරා කියල කියන්නත් බැහැ. එහෙම වුනා නම් මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්නේ නැහැ නේ… කොහොම වුනත් අද වෙද්දී තාත්තගෙ ආසාව මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන එක ගැන. මගෙත් දැන් වැඩි ආසාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න,” එසේ වූවත් ඔහු කිසිම ලෙසකින්වත් රග්බි ක්‍රීඩාව නතර කරන්නේ නැති බවත් ඔහු පවසනවා.

නවීන්ගේ කුඩා කාලයෙන් වැඩි කාලයක් ම ගත වෙන්නේ ක්‍රීඩා පිට්ටනිවල. මේ නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු සැකසුරුවම් කිරීමට මවට විශාල වෙහෙසක් දැරීමට සිදු වෙනවා.

නවීන්ගේ අම්මා, දීපානි පුෂ්පකුමාරි. වෘත්තීය ඡායාරූප ශිල්පිනියක් වන ඇයත් ගත කළේ කාර්යබහුල ජීවිතයක්. පියාගේ මෙන් ම මවගේත් කාර්ය බහුල ජීවිතය හා සමඟ නවීන් සේ ම නවීන්ගේ වැඩිමල් සොයුරිය චාමිකා චතුරංගිගේත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන ම කාලසටහනක් ක්‍රියාත්මක කරන්නට ඔවුන්ට සිදු වුනා.

ගොඩක් වෙලාවට ගුරුවරුන් ගෙදරට ගෙන්නලා තමයි පාසලෙන් මඟ හැරෙන පාඩම් කටයුතු කර ගත්තේ. අම්මත් තාත්තත් නිතර ම කිව්වේ කොච්චර ක්‍රීඩා කළත් වැඩක් නැහැ අධ්‍යාපනය කටයුතු සාර්ථක කර නොගත්තොත් කියලා. ඒ නිසා අපි අධ්‍යාපන කටයුතුත් හොඳින් කර ගත්තා. මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා මේ වෙද්දී වානිජ්‍ය විෂයන් හදාරමින් උසස් පෙළ කරනවා. අක්කා පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ආයතනයක වෛද්‍ය විද්‍යාව හදාරනවා.”

නවීන් තම ආදරණීයයන් සමග

පියාත් සමඟ රග්බි පිටියට පියමැන්න කුඩා නවීන් වයස අවුරුදු 8ක් පමණ වෙද්දී වයස අවුරුදු 10න් පහළ රග්බි පිටියට එක් වෙනවා. ඒ රග්බි කික් කෝලා තරගාවලිය වෙනුවෙන්. එම වසරේ කාණ්ඩ ශූරයන් වීමට ඔවුන් සමත් වෙනවා.

රග්බිවල කුඩා කාලයේ ඒ මතකය තමයි ලොකුවට තියෙන්නේ. කොහොමටත් මාසයකට දෙකකට සැරයක් රග්බි තරගවලට සහභාගී වුනා. තාත්තා මට කියල විශේෂ සැලකිල්ලක් දැක්වුවෙත් නැහැ. බනිනකොට අපි ඔක්කෝට ම එකට බනිනවා. සමහර දවස්වලට අපි ඔක්කෝම එකට අඬපු අවස්ථා තිබුණා.”

රග්බි පිටියේ එසේ කටයුතු කරද්දී කුඩා නවීන් ක්‍රිකට් වෙනුවෙන් පිටියට පිවිසෙන්නේ බී. ආර්. සී. ක්‍රිකට් ඇකඩමියෙන්.

පුංචි ම දවස්වල රග්බි තරගවලට සහභාගී වුනත්, ක්‍රිකට් තරගවලට සහභාගී වුනා කියල මතකයක් නැහැ. හැබැයි කවදාවත් ක්‍රිකට් පුහුණුවීම් මඟ හැරලා නැහැ. මුලින් ම ක්‍රිකට් තරගයකට සහභාගී වෙන්නේ පුහුණුවීම්වලට ගිහිල්ලා අවුරුදු 2ක් විතර ගත වුනාට පස්සේ. ඒ ඇකඩමි තරගවලට.”

නවීන්ට වයස අවුරුදු 10ක් පිරෙද්දී විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදා වෙනවා. ඒ වෙද්දී 5 වැනි ශ්‍රේණියේ ඉගනුම ලැබූ නවීන්ට එය මහඟු අවස්ථාවක් වෙන්නේ එම වයස් කාණ්ඩයෙන් වසර 4ක් ම ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූ බැවින්.

එහෙම ඉන්දැද්දි එක ම වසරේ දී වයස අවුරුදු 13න් පහළ රග්බි සහ ක්‍රිකට් කණ්ඩායම් දෙකේ ම නායකයා වීමට මට හැකි වුනා. ඒ ගැන මගේ එච්චර හැඟීමක් තිබුණේ නැහැ. මම මට පුළුවන් දේ කළා. ඒත් ඒක කලාතුරකින් කෙනෙක්ට ලැබෙන අවස්ථාවක් කියල දෙමාපියන් සහ අනෙකුත් අය කියද්දී මට ලොකු ආඩම්බරයක් දැනුණා.”

එතැන් සිට නවීන් සෑම වයස් කාණ්ඩයක දී ම විද්‍යාලයීය රග්බි සහ ක්‍රිකට් කණ්ඩායම් ද්විත්වයේ නායකත්වයට පත් වීමට සමත් වුනා. එම කාලය තුළ වයස අවුරුදු 14න් පහළ රග්බි පළඟ ශූරතාව, වයස අවුරුදු 16න් පහළ රග්බි සමස්ත ශූරතාව වැනි ශූරතාවන් දිනා දීමට නවීන්ගේ දක්ෂතා ඉවහල් වුනා. ඊට අමතර ව මෙවර ලීග් තරගාවලියේ සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන් වීමේ දී ද ඔහුගේ දක්ෂතා තම කණ්ඩායමට ලබා දීමට නවීන් සමත් වුනා.

ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තරග පිටියට පැමිණි අවස්ථාවල දී වයස අවුරුදු 13න් පහළ අර්ධ අවසන් පූර්ව වටය දක්වාත්, වයස අවුරුදු 17න් පහළ අවසන් පූර්ව වටය දක්වාත් සහ 2023 වසරේ දී වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වාත් සහ එම තරගාවලියේ ම එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වාත් පැමිණීමට සමත් වුවා.

ක්‍රිකට් පිටියේ දීත් සහ රග්බි පිටියේ දීත් මෙතෙක් පෑ දක්ෂතා ගැන සෑහීමකට පත් වෙනවා වගේ ම තවත් ඉදිරියට යෑමට මගේ දක්ෂතා වර්ධනය කර ගත යුතුයි කියන විශ්වාසයෙන් කටයුතු කරනවා. නිමා වූ කාලයේ දී ක්‍රිකට්වලින් වයස අවුරුදු 15න් පහළ දිස්ත්‍රික් කණ්ඩායම් නියෝජනය කළා. රග්බිවල වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කළා. ඒ ගැන සතුටුයි.”

නවීන් නිමා වූ වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් ලකුණු 425ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වූ අතර තර්ස්ටන් – ඉසිපතන වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවා.

පන්දු යවන්නෙක්ට වඩා පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන්නයි වැඩි කැමැත්ත තියෙන්නේ. පාසල් තරග වාරයේ දී මම පන්දු යැවුවේ ම නැහැ. ඒත් බිග් මැච් එකේ දී පන්දු යවමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. කොහොමටත් මගේ වැඩි කැමැත්ත පිතිකරුවෙක් ලෙසින් ඉදිරියට යන්න. දැනටමත් ක්‍රීඩා සමාජ කිහිපයකින් ම ඔවුන් සමඟ එක් වෙන්න කතා කළා. ඒත් ඒ ගැන මේ අවුරුද්ද නිමා වූ පසුව හිතනවා. මොකද රග්බි තරගාවලිය සහ මගේ උසස් පෙළ විභාග කටයුතුත් වෙනුවෙන් මේ දවස්වල වෙහෙස වෙනවා,” නවීන් කණිෂ්ක  පැවසුවා.

එමෙන් ම නායකයෙක් ලෙසින් ක්‍රීඩාවන් දෙකක කණ්ඩායම් දෙකක් මෙහෙයවීමේ දී තමන් මේ දක්වා කිසිදු අපහසුතාවක් මතු වී නොමැති බැව් ද ඔහු පවසන අතර ක්‍රීඩාවේ දීත් අධ්‍යාපනයේ දීත් මේ කිසිවක් බාධාවක් කර නොගනමින් කටයුතු කිරීමට තමන් මූලිකත්වය ගන්නා බැව් ද පවසනවා.

රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවන් අතරින් එකක් තෝරා ගැනීමට යෝජනා කෙරුණොත් නවීන් පවසන්නේ ක්‍රීඩා දෙක ම බේරා ගෙන කිරීමට උත්සාහ කරන බවයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි කැමැත්තක් දක්වන බැවින් එවන් අවස්ථාවක දී ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගැනීමට වැඩි ඉඩකඩක් පැවතිය හැකි බැව් ද ඔහු පවසනවා.

පුංචි කාලයේ සිට ම සහභාගි වූ බැවින් ක්‍රීඩා දෙක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ක්‍රීඩා දෙකට ම හොඳ මානසිකත්වයෙන් සහභාගී වෙනවා නම් කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අනිත් එක මේ ක්‍රීඩාවන් දෙකේ නීති රීති ඇරෙන්න සහභාගී වීමේ දී ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. රග්බි එකේ දී ගේම් ප්ලෑන් එක ගොඩක් වැදගත් වෙනවා. ඒක ඉතා ඉක්මනින් ක්‍රියාවට නගන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාවේ දීත් ගේම් ප්ලෑන් එක ගොඩක් වැදගත්. ඒත් ඒක අපට එක තැනක දී මිස් වුනත් තවත් තැනක දී නැවත කරන්න පුළුවන්. රග්බි ක්‍රීඩාවේ දී එහෙම අවස්ථා ලැබෙනවා අඩුයි. ඒත් ඉතිං රග්බි ක්‍රීඩාවට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ඇඩ්වාන්ස් එකක් තියෙනවා. මම ඒකට කැමතියි.”

මේ ගමනේ දී තම පාසලෙන් සහ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයෙන් දක්වන සහයෝගය සම්බන්ධයෙන් නවීන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

පාසලෙන් විශාල සහයෝගයක් දක්වනවා. විශේෂයෙන් ම ක්‍රීඩාවන් දෙක ම කරගෙන යන්න පුළුවන් විදිහට මට උපරිම සහයෝගය ලබා දෙනවා. ඔවුන් වුනත් කියන්නේ පුළුවන් තරම් හොඳින් ක්‍රීඩාවන් දෙක ම කරගෙන යන්න කියලා. මෙතැන දී මගේ අම්මා, තාත්තා සහ අක්කගෙන් ලැබෙන සහයෝගයත් අමතක කරන්න බැහැ,” නවීන් පවසනවා.

ක්‍රීඩා පහසුකම් සැලසීමේ දී විද්‍යාලයීය විදුහල්පතිතුමා සහ ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය දක්වන සහයෝගයත්, රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පුහුණුකරුවන්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් සේ ම සහ රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දී තමන් සමඟ ගැටෙන සෑම ක්‍රීඩකයෙක් ම සහ පාසලේ සියලුම ප්‍රජාව එක් ව දක්වන සහයෝගයටත් ඔහුගේ ගෞරවය පුද කරනවා.

මේ හැම දෙනෙක්ගේ ම සහයෝගය මතින් මම අද මේ ගමන ඇවිත් තියෙනවා. මට තවත් ගොඩාක් දුර යන්න තියෙනවා. ඒ ගමන යන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා. ඒක රග්බි වෙන්න පුළුවන්, ක්‍රිකට් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ දෙක ම වෙන්න පුළුවන්. මගේ උත්සාහය අත් හරින්නේ නැහැ. ඒ ගමන අධිෂ්ඨානයෙන් යනවා,“ නවීන් කණිෂ්ක  පැවසුවා.

නවීන්ගේ එම ගමනට ThePapare.com හී සුබ පැතුම්!

  >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<