අඛණ්ඩව අටවැනි වරටත් ලීග් රග්බි කිරුළ මහනුවරට!

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය 2022/23

239
Nippon Club Rugby 2022/23 Super Round

දේශීය රග්බි පිටියේ ශූරයින් තමන් බව තවදුරටත් තහවුරු කරමින් 2022/23 Nippon Paint අන්තර් සමාජ රග්බි ශූරතාවය අපරාජිතව ජයග්‍රහණය කිරීමට මහනුවර කණ්ඩායමට හැකි වුනා.

ඒ සමඟින් අඛණ්ඩව 08 වැනි වතාවටත් ලීග් රග්බි ශූරතාවය ඔවුන් සතු වූ අතර ඔවුන් මෙම කිරුළ දිනා ගත් 23 වැනි වතාව මෙය වීම ද විශේෂත්වයක්.

Kandy SC vs CR&FC

පසුගිය සතියේ දැක්වූ දස්කම් නිසා මෙවර කිරුළේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් මහනුවර ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වුනා.

නමුත් ඔවුන්ට දැඩි අභියෝගයක් වෙමින් පළමු අර්ධයේ ආධිපත්‍ය රඳවා ගැනීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වීම විශේෂත්වයක්.

වතුර සෙනවිරත්නගේ දඬුවම් පහරෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ CR&FC වෙනුවෙන් තේනුක නානායක්කාර උත්සාහක දිනුමක් වාර්තා කළා.

ඒ අනුව තරගයේ ලකුණු 10-00ක පෙරමුණක් හිමි වුනේ CR&FC ක්‍රීඩකයින් හටයි.

නමුත් දෙවැනි අර්ධයේ දී ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩකයින් වන ලවංග පෙරේරා සහ කවිඳු පෙරේරා ප්‍රවර්තන උත්සාහක දිනුම් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

මහනුවර වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම Mohommad Yakoob Ali වාර්තා කරද්දී තරගය අවසන් වීමට මොහොතකට පෙර සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කර ජයග්‍රහණය තහවුරු කිරීමට ආසිරි සෙනවිරත්නට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Kandy SC 29 – 10 CR&FC

Air Force SC v Police SC

පොලිස් ක්‍රීඩකයින් ලකුණු 11-5කින් පරාජය කරමින් පලඟ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ලකුණු ලබා ගැනීම දඬුවම් පහරකින් ආරම්භ කිරීමට ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරාට හැකි වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේ තවත් දඬුවම් පහරක් වාර්තා කිරීමට නුවන්ට හැකි වෙද්දී රුමේෂ් රාමදාස් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

තරගයේ අවසන් අදියරේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හේෂාන් තිලකරත්නට සමත් වූවත් තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Air Force SC 11 – 05 Police SC

Army SC v CH&FC

පනාගොඩ පැවති මෙම තරගයෙන් CH&FC ක්‍රීඩකයින්ට ලකුණු 60-12ක දැවැන්ත පරාජයක් අත්කර දීමට යුද හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ පළමු අර්ධය ලකුණු 24 -7ක් ලෙස යුද හමුදාව පෙරමුණේ පසු වූ අතර දෙවැනි අර්ධයේ දී CH&FC එක් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී ගුවන් හමුදාව උත්සාහක දිනුම් හයක් වාර්තා කළා.

යුද හමුදාව වෙනුවෙන් අශාන් බණ්ඩාර සහ ලසන්ත කුමාර උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කරද්දී මොහොමඩ් රිෆාන්, ධනුක විජෙතිලක, රවිඳු අමරසිරි, නාලන් ප්‍රේමරත්න සහ මනෝජ් කුමාර උත්සාහක දිනුම් වාර්තා කළා.

CH&FC වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුම් දෙකම වාර්තා කළේ උදාර ජයපාලයි.

අවසන් ලකුණු තත්වය: Army SC 60 – 12 CH&FC SC

Navy SC v Havelock SC

නාවික ක්‍රීඩකයින් දැක්වූ දස්කම් නිසා පරාජයකින් තරග වාරය අවසන් කිරීමට Havelock ක්‍රීඩකයින්ට සිදු වුනා.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරු Havelock ක්‍රීඩකයින් වාර්තා කළේ දඬුවම් පහර දෙකක් පමණක් වන අතර නාවික හමුදාව උත්සාහක දිනුම් හතරක් වාර්තා කළා.

නාවික හමුදාව වෙනුවෙන් හර්ෂ මදුරංග, තිළිණ වීරසිංහ, ධනංජය සෙනවිරත්න සහ දේශාන් විමුක්ති උත්සාහක දිනුම් වාර්තා කළා.

මෙම පරාජයත් සමඟ සුපිරි වටයේ සහභාගී වූ සියලු තරග පරාජයට පත් වෙමින් අසාර්ථක තරග වාරයක් අවසන් කිරීමට Havelock ක්‍රීඩකයින්ට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: Navy SC 26 – 06 Havelock SC

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<