18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය මාර්තුවේ දී

All Island Under 18 7s 2023

274
All Island Under 18 7s 2023

අධ්‍යාපනය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය මාර්තු 4 සහ 5 යන දෙදින මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

පාසල් රග්බි පිටියේ සිටින ප්‍රබල කණ්ඩායම් සහභාගී වන මෙම තරගාවලිය 2023 පාසල් රග්බි තරග වාරය ආරම්භ කරන සමාරම්භක තරගාවලිය වන අතර මෙය සඳහා ශ්‍රේණිගත කිරීමේ පළමු 32 අතර සිටින පාසල් සහභාගී වීමට නියමිතයි.

18න් පහළ ක්‍රීඩකයින් බොහෝ විට පාසලේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරන නිසා මෙම තරගාවලිය පාසල් සඳහා ද ඉතා වැදගත් වන්නේ පළමු පෙළ කණ්ඩායමේ ශක්තිය ඉහළ නංවා ගැනීමට අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයින් හඳුනා ගැනීමට හැකි වෙන නිසයි.

ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම ප්‍රකාශ කළේ,

“කොරෝනා වසංගතය නිසා අපට අවුරුදු දෙකක කාලයක් 16න් පහළ තරගාවලිය තියන්න ලැබුණේ නැහැ. ඉතින් එතකොට අවුරුදු 16න් පහළ ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් දැන් ක්‍රීඩා කරන්නේ 18න් පහළ ක්‍රීඩකයින් විදියටයි. ඒකයි අපි මේ තරගාවලියෙන් තරගවාරය ආරම්භ කරන්නේ.

පාසල් රග්බි සම්මේලනය විසින් සියලු වයස් කාණ්ඩවලට තරග කරන්න අවස්ථාව ලැබෙන විදියට ක්‍රමානුකූලව කටයුතු සිදු කරගෙන යනවා. අපි පසුගිය වසරේ පවත්වපු 14න් පහළ තරගාවලිය ඒකට හොඳ උදාහරණයක්. ඒක ක්‍රීඩා කරපු ළමුන් ඔක්කොම 16න් පහළ කාණ්ඩයේ ක්‍රීඩා කරනවා.

ඒ වගේම මේ තරගාවලිය සඳහා අපිට සෑම පාසලකින් ම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. පසුගිය වසර වන විට ශ්‍රේණිගත කිරීමේ පළමු කණ්ඩායම් 32කට මේ තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා, යම් කණ්ඩායමකට තරගාවලියට සහභාගී වෙන්න බැරි නම් ශ්‍රේණිගත කිරීමේ ඊළඟට ඉන්න කණ්ඩායමට අවස්ථාව හිමි වෙනවා.

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් පසුගිය වසරේ (2022) සත් සාමාජික තරගාවලියක් සාර්ථකව පවත්වලා අවසන් කළා. පළාත් තරගාවලිය මෙන්ම 19න් පහළ ලීග් සහ සත් සාමාජික තරගාවලි ද ඉතා සාර්ථකව පැවැත්වුණා. 2019න් පසුව 18න් පහළ තරගාවලිය නැවත පවත්වන්න ලැබෙන එක අපි සතුටු වෙනවා වගේම, ඉදිරියේ පැවැත්වීමට නියමිත තරගාවලි ගැන විශාල අවධානයක් යොමු කරනවා.”

තරගාවලිය සඳහා කණ්ඩායම් 32ක් සිය සහභාගීත්වය තහවුරු කිරීමත් සමඟ කාණ්ඩ දෙකක් යටතේ පළමු වටය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පළමු දිනයේ තරග බෝගම්බර සහ පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණ ද්විත්වයේ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මූලික වටය අවසන් වීමෙන් පසු දෙවැනි සහ අවසන් දිනයේ තරග පැවැත්වෙන්නේ බෝගම්බර ක්‍රීඩාංගණයේ දීයි.

පළමු දිනයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග වදින කණ්ඩායම්: ඉසිපතන විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය මහනුවර, වේල්ස් කුමර විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, කේරි විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය පානදුර, ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය.

පළමු දිනයේ බෝගම්බර ක්‍රීඩාංගණයේ තරග වදින කණ්ඩායම්: රාජකීය විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, සහිරා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, මහානාම විද්‍යාලය, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, ශ්‍රී රාහුල විද්‍යාලය, දේවපතිරාජ විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය.

මෙම තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<