හිමාෂ, රුමේෂිකා සහ නිමාලිගේ සිහින බොඳවෙයි

725

94th Australian Athletics Festival94 වැනි ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් කාන්තා විවෘත මීටර් 800 අවසන් ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනාරච්චි මිනි. 2 තත්. 08.54ක කාලයක් සටහන් කරමින් එම ඉසව්වේ 8 වැනි ස්ථානයට පත්වූවාය.

2016 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති එම ඕස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ 8 වැනි ස්ථානය ශ්‍රී ලංකාවේ නිමාලි හිමි කර ගනිද්දී එම පළමු ස්ථානය හිමිකර ගත් ඕස්ට්‍රේලියාවේ බි්‍රටනි මැක්ගොවන් ජයග්‍රහණය සඳහා මිනි. 2 තත්. 04.13ක කාලයක් සටහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පසුගියදා නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී කිරුළු පලන් හිමාෂ ඒෂාන්ද මීටර් 100 පිරිමි ඉසව්ව සඳහා එක්ව සිටි අතර ඔහු එම අවසන් තරගයේදී තත්.10.50ක කාලයක් සටහන් කරමින් 5 වැනි ස්ථානයට පත්ව තිබේ.

9 වැනි මංතීරුවේ තරග වැදුණු හිමාෂ එම තරගයේදී ලබාගත් අසාර්ථක ආරම්භයත් සමඟින් එසේ පසුබැසීමට ලක්වූ අතර එම ඉසව්වේ පළමු ස්ථානය ලබාගත් ඇලෙක්සැන්ඩර් හාට්මැන් ජයග්‍රහණය සඳහා තත්.10.35ක කාලයක් සටහන් කර තිබිණි. එහෙත් අවසන් පූර්ව වටයේදී හිමාෂ තත්. 10.45ක දක්ෂතාවක් සමඟින් අවසන් තරගයට සුදුසුකම් ලබා තිබූ අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා මූලික වටයේදී තත්. 10.36ක කාලයක් සටහන් කොට තිබිණි.

කෙසේවෙතත් ඔහු පෙබරවාරි මාසයේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් තත්. 10.28ක කාලයක් සටහන් කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

මේ අතර මීටර් 100 කාන්තා ඉසව්ව නියෝජනය කළ රුමේෂිකා රත්නායකට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි නොවූ අතර ඇය අවසන් පූර්ව වටයේදී තත්. 11.99ක් සටහන් කරමින් 5 වැනි ස්ථානයට පත්වීම එසේ අවසන් තරගයට සුදුසුකම් නොලැබීමට හේතුවිය.

එම කාන්තා මීටර් 100 අවසන් තරගය ඕස්ට්‍රේලියාවේ මෙලිස්සා බී්‍රන් දිනාගැනීමට සමත් වූ අතර ඇය ඒ සඳහා තත්.11.53ක කාලයක් සටහන් කර තිබිණි. ඒ අනුව ඕස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා උළෙලට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනාට පදක්කම් දිනා ගැනීමට නොහැකි වූ අතර ඔවුන්ගේ 2016 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවසන් සිහිනයද බොඳව ගියේය.