ශ්‍රී ලංකාවට අලුත් දඟපන්දු පුහුණුකරුවෙක්!

Women's National Super League 2024

756
Women's National Super League 2024

හිටපු ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන Craig Howard ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව දඟපන්දු පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා.

1990 දශකයේ දී ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කර ඇති Howard පසු කාලීන ව දඟපන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ඔහු මේ වන විට සුදුසුකම් ලද තෙවන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සමඟ වසර 12කට අධික කාලයක් උපදේශක පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

එහි දී ඔහු විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සමඟ දඟපන්දු යවන්නන් පුහුණු කිරීමේ වැඩසටහන් සමඟ දීර්ඝ කාලීන අත්දැකීම් ලබා ඇති අතර, ඕස්ට්‍රේලියානු A සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා XI වැනි කණ්ඩායම් (කාන්තා සහ පිරිමි අංශ දෙකේ ම) සමඟ සහය පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඔහු විසින් 2011 – 2015 කාල සීමාව තුළ South Australian Redbacks සහ Adelaide Strikers කණ්ඩායම් සමඟ ද දඟපන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට පෙර ඔහු නවසීලන්ත කාන්තා කණ්ඩායමේ මෙන්ම, ඕස්ට්‍රේලියාවේ වික්‍ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමේ ද දඟපන්දු පුහුණුකරු ලෙස වගකීම් හොබවමින් අත්දැකීම් ලබා ඇති පුහුණුකරුවෙක්.

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා –  ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලියේ පටන් Howard සිය ධුරයේ ‍රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Craig Howard විසින් 2024 පෙබරවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු ලෙස කොන්ත්‍රාත්තු ගත වී තිබෙනවා.

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<