තිරිමාන්නගේ ඉරණම චන්දිමාල්ට අත්වීමට පෙර

2155
Dinesh Chandimal

කාලයෙන් කාලයට තරු බිහිවෙති. අනාගත තරු ගැන අනාවැකි කියති. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ අනාගතය ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න තුන් කට්‌ටුව භාර ගනු ඇතැයි මෙරට ක්‍රිකට්‌ ප්‍රවීණයෝ මත පළ කළහ. එහෙත් ළහිරු තිරිමාන්න සෙනසුරු ලබන්නාක්‌ මෙන් කණ්‌ඩායමේ එක දිගට අසාර්ථකව එළියට විසිවිය. දැන් දිනේෂ් චන්දිමාල්ටද තිරිමාන්නගේ ඉරණම අත ළඟ යන්නට පැහැදිලි රතු එළියක්‌ ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් එල්ල කර තිබේ. ඒ නායකත්වය උපුල් තරංගට පැවරීම තුළිනි.

තරංග ODI නායකත්වයට; වීරක්කොඩි සහ මධුශංක ප්‍රථම වරට සංචිතයට

සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලබන ජනවාරි 28 වනදා ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වැඩ බලන එක්දින නායකයා ලෙස තේරීම් කමිටුව විසින් උපුල් තරංගව නම් කර ඇත….

චන්දිමාල් දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියේදී අසාර්ථක වීම සහ විස්‌සයි විස්‌ස තරගාවලියේදී පිතිකරුවකු ලෙස ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් මේ වන විට චන්දිමාල්ට පීඩනය තරවී තිබේ. ඉන් ගැලවිය හැක්‌කේ එක්‌දින තරගාවලියේදී ඔහු තරග දිනවන්නකු ලෙස ප්‍රති ප්‍රහාරය දියත් කළහොත් පමණි.

දිනේෂ් චන්දිමාල් මෑත කාලයේදී අසාර්ථක වීම තුළින් පළමුව නායකත්වය අහිමි වූවාක්‌ මෙන් ස්‌ථානයද අහිමි වන්නට පුළුවනි. තිරිමාන්න, කුසල් පෙරේරා ඒ සඳහා හොඳම නිදසුන් වේ. චන්දිමාල් වගකීම් ඉටු කළ යුතුම කාල පරිච්ඡේදයේ අසාර්ථක වීම කැපී පෙනෙයි. ඕස්‌ට්‍රේලියාවට එරෙහිව එස්‌. එස්‌. සී. පිටියේදී ශතකයක්‌ (132) ලබා ගැනීමෙන් පසුව චන්දිමාල් ක්‍රීඩා කළ අවසන් එක්‌දින ඉනිම හය තුළදී ලබා ඇත්තේ ලකුණු 128ක්‌ පමණි. නමුත් චන්දිමාල් එක්‌දින තරගවලදී අසාර්ථක පිතිකරුවකු නොවන බවද සඳහන් කළ යුතුය. ඔහුගේ අවසන් එක්‌දින ඉනිම ඇතුළත ඕස්‌ට්‍රේලියාවට එරෙහිව ශතකයක්‌ වාර්තා කර තිබේ. නමුත් ප්‍රශ්නය ඇත්තේ නවකයෝ රොත්ත බැගින් කණ්‌ඩායමට ඇතුළු වීමට පොරකෑම සහ ඒ සියලු දෙනාට අවස්‌ථාව දීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව උත්සාහ කිරීම මගින් චන්දිමාල්ලාට ද ස්‌ථානය අවදානම් වීමයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන දිනේෂ් චන්දිමාල්ට සිය ස්‌ථානය රැක ගැනීම සඳහා මේ වන විට ලකුණු අතරට පැමිණීම අවශ්‍යම යුගයක්‌ බවට පත්ව තිබේ. හෙට (28 දා) දකුණු අප්‍රිකාව සමඟ ආරම්භ වන තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ නායකත්වය භාර දෙන්නට සිටි චන්දිමාල්ට යළිත් උපනායක පට්‌ටමේ සිටීමට සිදුවිය. මැතිව්ස්‌ නොමැති කල කණ්‌ඩායමේ නායකත්වය භාර දෙන්නට හොඳම සුදුස්‌සා ලෙස සිටි චන්දිමාල්ට එම තනතුර නොලැබී යෑමෙන් ඔහුගේ ස්‌ථානය රැකගැනීමට කළ යුත්තේ කුමක්‌ද යන්න චන්දිමාල්ට වැටහෙනවා ඇත.

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට පැමිණෙන්නේ 2010 වසරේදීය. එවිට ඔහුගේ වයස යාන්තම් අවුරුදු 21ක්‌ වූවා පමණි. අනතුරුව චන්දිමාල් 2011 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිවම ටෙස්‌ට්‌ වරම් ලබයි. දකුණු අප්‍රිකාවේ වේගවත් තණතීරු සහ එහි ඉපිලීම ගැන මෙලෝ හසරක්‌ දැන නොසිටි චන්දිමාල් ඩර්බන් හී පැවැති මංගල ටෙස්‌ට්‌ තරගයේදී ඩේල් ස්‌ටේන් ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබයි. චන්දිමාල්ගේ එම දායකත්වයත් සමඟ ශ්‍රී ලංකාව පළමු වරට දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගයක්‌ ජයගනිමින් ජයග්‍රාහී ටෙස්‌ට්‌ ජීවිතයකට චන්දිමාල් හිමිකම් ඇරඹීය.

ශ්‍රී ලංකාවේ අනාගත පුරුක්‌ සොයමින් සිටින යුගයක මැතිව්ස්‌ගේ හොඳම සහයකයා වූ දිනේෂ් චන්දිමාල් කණ්‌ඩායමේ උපනායකත්වයටද පත්විය. 2014 විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ නායකයා ලෙසද නම් කෙරුණි. අවසානයේදී ඔහුට කුමක්‌ හෝ අහේතුවකට එම තරගාවලියේදී එළියට යෑමට සිදුවිය. නමුත් වැටීම් සහ නැගිටීම් තුළින් පැමිණි චන්දිමාල් කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨත්වයට පත්ව සිටින යුගයකදී දක්‌වන නීරස ක්‍රීඩා විලාශය ඔහුගේ ක්‍රිකට්‌ දිවියට රතු එළි දැල්වීමක්‌ බව පැහැදිලිවම පෙනෙයි.

මේ වන විට ටෙස්‌ට්‌ තරග 34කට සහභාගි වී ඇති චන්දිමාල් ශතක හතක්‌ සහ අර්ධ ශතක 10ක්‌ සමඟ මුළු ලකුණු 2342ක්‌ ලබා තිබේ. එහි සාමාන්‍ය 41.08 කි. එක්‌දින තරග 119කට සහභාගි වී ඇති චන්දිමාල් මුළු ලකුණු 3033ක්‌ ලබා ඇත. ඊට ශතක හතරක්‌ සහ අර්ධ ශතක විස්‌සක්‌ ඇතුළත් වේ. විස්‌සයි විස්‌ස තරග 48කදී චන්දිමාල් රඳවා ඇති සාමාන්‍ය 18.00 කි.

සිය පළමු ටෙස්‌ට්‌ ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කරමින් සහ දෙවැනි එක්‌දින ජාත්‍යන්තර තරගයේදීම ශතකයක්‌ වාර්තා කළ දිනේෂ් චන්දිමාල්ට පීඩනයෙන් ගැලවීමට අපහසු නොවනු ඇත. එබැවින් ඔහුගේ සුපුරුදු ලකුණු මැෂිම එක්‌දින තරගාවලියේදී මෙරට ඔසවා තබනතුරු රටක්‌ බලා සිටිනු ඇත.

 >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<