ධනංජයගේ අභිෂේක මංගල්‍යය

Afghanistan Tour of Sri Lanka 2024

157
Dhananjaya De Silva

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ආරම්භ කරමින් පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය හෙට (02) කොළඹ SSC පිටියේ දී ආරම්භ වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව මේ සහභාගී වෙන්නේ තම 314 වැනි ටෙස්ට් තරගයට වන අතර ඇෆ්ගනිස්තානය මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 7කට පමණයි.  

ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා එක් වෙන්නේ පසුගිය වසරේ ජුලි මාසයේ නවසීලන්තය සමඟ පැවැති තරගාවලියේදීයි. එම තරගාලිය ඔවුන් නිමා කරන්නේ තරග 2-0ක් ලෙසින් පරාජයට පත් වෙමිනුයි.  

ඇෆ්ගනිස්තානය අවසන් වරට ටෙස්ට් තරගයකට එක් ව ඇත්තේ පසුගිය ජූනි මාසයේ දී බංග්ලාදේශය සමඟයි. එම තරගයෙන් ඔවුන් ප්‍රතිවාදීන් හමුවේ ලකුණු 546ක අමිහිරි පරාජයකට මුහුණ දෙනවා. එය ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණුත ම පරාජ හමුවේ තෙවැනි ස්ථානයට පත් තරගයයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ 18 වැනි නායකයා ලෙසින් ධනංජය ද සිල්වා පිටියට එක් වීමට නියමිතයි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් නම් ලද ධනංජය ද සිල්වා මේ දක්වා ටෙස්ට් තරග 51කට සහභාගී වෙමින් ශතක 10ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 3301ක් ලබා තිබෙන ක්‍රීඩකයෙක්.  

ඔහුගේ අවසන් ඉනිම් 5 තුළ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 193ක් ලබා සිටින අතර එහි සාමාන්‍ය 48.3ක් ලෙසයි දැක් වෙන්නේ. 

ඔහුගේ නායකත්වයේ අභිශේකය වෙනුවෙන් පෙර වාර්තාගත අත්දැකීම් බහුල මෙන් ම ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයේ ද කටයුතු කළ දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට ද කැඳවීම් ලැබී අතර කෝඩුකාරයන් තිදෙනෙක් ද ඊට එක් කර තිබෙනවා.  

ඒ ඉදිරි පෙළ දකුණත් පිතිකරුවෙක් ලෙසින් 20 හැවිරිදි වියේ පසුවෙන ලහිරු උදාර, 27 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන මිලාන් රත්නායක සහ 24 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන චාමික ගුණසේකර යි. ඔවුන් තිදෙනා ම මෑත කාලීන පළමු පෙළ ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූවෝයි.  

ශ්‍රී ලංකා සංචිතය:  

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක/ කඩුලු රකින්නා), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, නිශාන් මදුශ්ක, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික ගුණසේකර, මිලාන් රත්නායක 

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සූදානම 

2018 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි වූ ඇෆ්ගනිස්තානුවෝ මෙම තරගාවලියට එක් වෙද්දී ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 7ක් පමණක් වන අතර එම තරගවලින් තරග 3ක ජයග්‍රහණ ඔවුන් විසින් ද සහ අනෙක් තරග 4 ප්‍රතිවාදීන් විසින් ද ජයග්‍රහණය කර තිබෙනවා.  

ඇෆ්ගනිස්තානය ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 7න් තරග 6කට ම ක්‍රීඩා කර ඇති නායක Hashmatullah Shahidi ගේ නායකත්වයේ මංගල තරගය ද වූයේ එයයි. 

ඔහු මේ වෙද්දී ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කරමින් ලකුණු 375ක් ලබා සිටින අතර ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව ද ඔහු සතු වෙනවා. ඒ 2021 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 443කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 200යි. 

ටෙස්ට් තරග පිටියේ එතරම් ම අත්දැකීම් නොමැති ක්‍රීඩකයෝ රාශියක් සමඟින් පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමට 18 වැනි වියේ පසුවෙන කොඩුකාර ක්‍රීඩකයෝ දෙදෙනෙක් වන කඩුලු රකින, දකුණත් පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය කෙරුණ Mohammad Ishaq සහ දකුණතින් මඳ වේග පන්දු යවන Naveed Zadran ද පළමු වරට නම් කර තිබෙනවා. 

Mohammad Ishaq මේ දක්වා පළමු පෙළ තරග 10කට පමණක් සහභාගී වූ ක්‍රිඩකයෙක් වන අතර Mohammad Ishaq මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 7කට පමණයි. 

ඇෆ්ගනිස්තාන සංචිතය:  

Hashmatullah Shahidi (නායක), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (උප නායක), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (කඩුලු රකින්නා), Mohammad Ishaq (කඩුලු රකින්නා), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem and Naveed Zadran. 

මෙම තරගයේ දී ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම් 

කුසල් මෙන්ඩිස්: ටෙස්ට් ලකුණු 4000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 2ක් පමණයි.  

කසුන් රාජිත: ටෙස්ට් කඩුලු 50ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ව ඇත්තේ තවත් කඩුලු 5ක් පමණයි.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<