2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

2859
ඡායාරූප - getty images

එංගලන්තයේ Birmingham හිදී පැවැත්වෙන “2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල” ඊයේ (28) උත්කර්ෂවත් ලෙස ආරම්භ වුනා. මෙවර ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Birmingham හි Alexander ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සමාරම්භක උළෙලට විශේෂ අංග කිහිපයක්ම ඇතුළත් වුනා. නොබෙල් සාම ත්‍යාගලාභිනි Malala Yousafzai අධ්‍යාපනයේ වැදගත්කම ගැන දැනුවත් කරන්නට එක්වුණු අතර LGBTQ+ අයිතීන් ගැන ලොව දැනුවත් කරන්නට කිමිදුම් ක්‍රීඩක Tom Daley ද සමාරම්භක උත්සවයට එක් වුනා.

සමාරම්භක උත්සවයේ විශේෂම අංගයක් වුනේ අඩි 10ක් පමණ උස යාන්ත්‍රික වානේ ගවයෙකු (animatronic bull) ක්‍රීඩාංගණයට පැමිණීමයි. යකඩ හා යාන්ත්‍රික කර්මාන්තවලට ප්‍රචලිත Birmingham වල හා පොදුරාජ්‍ය මණ්ඩලයේ බහු සංස්කෘතික බව පෙන්නුම් කිරීම එම නිර්මාණයේ අරමුණ වී තිබුණා.

අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකා පෙළපාලිය ආරම්භ වුනා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක හා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා ධජය රැගෙන පෙළපාලියේ ගමන් කළා.

තරගාවලියේ ක්‍රීඩා ඉසව් අද ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000ක් පදක්කම් 280ක් සඳහා තරග වදිනු ඇත.

අද දිනයේ දී පැවැත්වීමට නියමිත වැදගත් ඉසව් මෙසේයි.

සත් සාමාජික රග්බි

සත් සාමාජික රග්බි තරගාවලිය අද දිනයේ දී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩය යටතේ එංගලන්තයට එරෙහිව සිය පළමු තරගය ක්‍රීඩා  කරනු ඇත. කාන්තා කණ්ඩායම සිය දෙවැනි තරගය නවසීලන්තය හමුවේත් අද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම ද ප්‍රබල නවසීලන්තය සමඟ තරග වැදීමට නියමිත තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ද ක්‍රීඩා කරන්නේ A කාණ්ඩයේයි.

පිහිනුම් ඉසව්

පිහිනුම් ඉසව් රැසක මූලික වටයේ තරග ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහි දී මීටර් 50 සමනළ ආර 4 වැනි මූලික වටයේ තරගයට අකලංක පීරිස් තරග කිරීමට නියමිතයි.

බැඩ්මින්ටන්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් A කාණ්ඩය නියෝජනය කරමින් අද ඕස්ට්‍රේලියාව සමඟ තරග කිරීමට නියමිතයි. ඒ මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව සඳහායි.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් ඉසව්වෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් අද ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතයි. රුචිර ප්‍රනාන්දු, ගයාෂාන් කුමාරසිංහගේ හා බුද්ධික ප්‍රනාන්දු අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

බොක්සිං

බොක්සිං ඉසව්වෙන් පිරිමි කිලෝග්‍රෑම් 60-63.5 Light Welter බර පන්තිය නියෝජනය කරන සංජිව බණ්ඩාර අද එංගලන්ත ක්‍රීඩක Joseph tyers සමඟ මූලික වටයේ තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ස්කොෂ්

ස්කොෂ් ඉසව්වෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් හා එක් ක්‍රීඩිකාවක් අද තරග බිමට පිවිසීමට නියමිතයි. රවිඳු ලක්සිරි, ශමිල් වකීල් පිරිමි 64 දෙනාගේ වටය ක්‍රීඩා කරද්දී, යෙහානි කුරුප්පු කාන්තා 64 දෙනාගේ වටය ක්‍රීඩා කිරීමට නියමිතයි.

3X3 පැසිපන්දු

ශ්‍රී ලංකා 3X3 කාන්තා හා පිරිමි පැසි පන්දු කණ්ඩායම් දෙකම අද තරග බිමට පිවිසීමට නියමිතයි. පිරිමි කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිව තරග වදිද්දී කාන්තා කණ්ඩායම කෙන්යාව සමඟ තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<