පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාලසටහන

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

860

ලෝක ක්‍රීඩා පිටියේ තවත් අවධානය දිනා ගත් ක්‍රීඩා සැණකෙළියක් වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද (28) නිල වශයෙන් ආරම්භ වෙනවා.

එංගලන්තයේ Birmingham නුවර සත්කාරකත්වය දරන මෙම තරගාවලිය අද (28) සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් එංගලන්තය බලා පිටත් වූ අතර එම ක්‍රීඩක සංචිතය සඳහා ක්‍රීඩකයින් 50ක් සහ ක්‍රීඩිකාවන් 60ක් ඇතුළත්.

තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් සහ හෙට (29) සවස් වරුවේ තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ පිරිමි මීටර් 50 සමනළ ආර මූලික වටය නියෝජනය කරමිනුයි.

එදිනම සත් සාමාජික රග්බි තරග නියෝජනය කරමින් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම් ප්‍රබල එංගලන්ත සහ නවසීලන්ත කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා මිශ්‍ර බැඩ්මින්ටන් කණ්ඩායම ද හෙට (29) සිය මූලික වටයේ තරගයකට සහභාගී වීමට නියමිත අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාවයි.

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි පැසිපන්දු කණ්ඩායම් ද හෙට ස්කොට්ලන්ත සහ කෙන්යා කණ්ඩායම්වලට එරෙහිව මූලික වටයේ තරගවලට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව හෙට (29) ජිම්නාස්ටික් තරග ඉසව් ද ආරම්භ වීමට සැලසුම් කර තිබෙනවා.

අනිද්දා (30) කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්ව නියෝජනය කරමින් ගංගා සෙනවිරත්න තරග වැදීමට නියමිතව ඇති අතර එදින ද ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් මූලික වටයේ තරගවලට සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම තරගාවලියේ ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග වැදීමට නියමිත අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ ප්‍රබල එංගලන්තයයි.

තරගාවලියේ අවධානයක් දිනා ගත් මලල ක්‍රීඩා ඉසව් අගෝස්තු 02 වැනිදා ආරම්භ වීමට සැලසුම් කර ඇති අතර එදින සවස් වරුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් මීටර් 100 මූලික තරගයට සහ ගයන්තිකා අබේරත්න මීටර් 800 මූලික වටයට සහභාගී වීමට නියමිතයි.

>> තරගාවලියේ සම්පූර්ණ කාලසටහන <<

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<