රන් කුසලානයේ 22න් පහළ ශූරතා කෑගල්ලට සහ නාත්තන්ඩියට

734

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ “ඩයලොග් ජනාධිපති රන් කුසලාන” වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 22න් පහළ කාන්තා සහ පිරිමි අංශවල අවසන් මහා තරග අද (15) මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජයත්, පිරිමි අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය සමත් විය.

ඩයලොග් ජනාධිපති රන් කුසලානයේ අවසන් සංග්‍රාමයන්ට ඔවුන් සූදානම්

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අනුදැනුම මත ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ…

කාන්තා – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය

අවසන් මහා තරගය සඳහා මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය තරග වැදුනි. එහි දී තරග වට 3-0ක් (25-17, 25-10, 25-19) ලෙස ජයග්‍රහණය කරමින් වයස අවුරුදු 22න් පහළ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට ඇලමෝනා ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු වටයේ දී කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය සමත් විය.

දෙවන වටයේ දී රතනපාල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් අතර යම් කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කළ අතර එයින් මනා ප්‍රයෝජනයක් ගත් ඇලමෝනා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් එම වටයත් ලකුණු 25-10ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

රතනපාල ක්‍රීඩා සමාජයට තීරණාත්මක වටයක් වූ තෙවැනි වටය තුළ ද එතරම් සාර්ථක නොවූ අතර ඇලමෝනා ක්‍රීඩා සමාජයේ දිලුක්ෂි හර්ෂනී සහ නිමේෂිකා සෙව්වන්දි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. රතනපාල ක්‍රීඩා සමාජය එම වටය අවසානයේ දී ද ලකුණු 19-25ක් ලෙස ඇලමෝනා ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්විය.

22න් පහළ කාන්තා ශූරතාවය දිනූ ඇලමෝනා ක්‍රීඩා සමාජය
  • ශූරතාවය – කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය
  • 3වන ස්ථානය – හුංගම විජයබා ක්‍රීඩා සමාජය
  • දක්ෂතම පන්දු සකසන්නිය – සුනේත්‍රා ප්‍රියදර්ශනී (ඇලමෝනා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ප්‍රහාරිකාව – දිලුක්ෂි හර්ෂනී (ඇලමෝනා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ක්‍රීඩිකාව – නිමේෂිකා සෙව්වන්දි (ඇලමෝනා ක්‍රීඩා සමාජය)

ජයග්‍රහණයෙන් අනතුරුව ඇලමෝනා ක්‍රීඩා සමාජයේ නායිකා සුනේත්‍රා ප්‍රියදර්ශනී ThePapare.com වෙත මෙසේ තම අදහස් ප්‍රකාශ කළාය.

මෙවර ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ 22න් පහළ කාන්තා ශූරතාවය හිමිකර ගැනීම පිළිබඳ ගොඩක් සතුටුයි. අපි මීට පෙර 2017 වසරේ දී ශූරතාවයත්, 2016 වසරේ දී 3 වැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වුනා. මේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ අපේ පුහුණුකරු අමිල විජේපාල සර්. සර් ගොඩක් මහන්සි වුනා. මේ ජයග්‍රහණය සඳහා අපට උදව් කළ අපේ අමිල සර්ටත්, අපේ දෙමව්පියන්ටත්, හයිඩ්‍රාමනී ආයතනයේ නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.”

ඇලමෝනා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු අමිල විජේපාල මහතා සිය අදහස් ThePapare.com වෙත මෙසේ ප්‍රකාශ කළේය.

“අපි මෙවර තරගාවලියට සහභාගී වුනේ හයිඩ්‍රාමනී ආයතනය නියෝජනය කරමින්. මෙවර තරගාවලියේ අපරාජිතව ශූරතාවය හිමිකර ගැනීමට අපේ කණ්ඩායම සමත් වුනා. අපි මීට පෙර 2017 වසරේදීත් 22න් පහළ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වුනා. මේ වන විට අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. ඔවුන් තිදෙනාගේ අත්දැකීම් මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශාල සහයෝගයක් වුනා.”

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පිරිමි – වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය

නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය සහ රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය මෙම තරග සඳහා සහභාගී විය. එහි දී තරග වට 3-0ක් (25-21, 31-29, 25-22) ලෙස ජයග්‍රහණය කරමින් වයස අවුරුදු 22න් පහළ පිරිමි අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු වටයේ මුල් භාගයේ සිටම රාජසිංහ ක්‍රීඩා සමාජයට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ ධම්මිස්සර ක්‍රීඩකයින් එම තරග වටය ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

දෙවන වටයේ දී නැවත තරගයට අවතීර්ණ වූ රාජසිංහ ක්‍රීඩකයින් මුල් භාගයේ දී ඉදිරියෙන් සිටීමට සමත් වුවත් එම වටයේ අවසාන භාගය වන විට කණ්ඩායම් දෙකම ලකුණු 25-25ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. තියුණු තරගයකින් පසුව ලකුණු 31-29ක් ලෙස ජයග්‍රහණය කිරීමට ධම්මිස්සර ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ තෙවන වටයේ මුල සිටම පෙරමුණ ගැනීමට සමත් වූ රාජසිංහ ක්‍රීඩකයින් 15-12ක් සහ 22-18ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වුවත් නැවත දක්ෂතා අතරට පැමිණි ධම්මිස්සර ක්‍රීඩකයින් ප්‍රතිවාදී පිළට එකදු ලකුණක්වත් රැස්කිරීමට අවස්ථාවක් නොදෙමින් එක පිට ලකුණු 7ක් රැස්කරමින් ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

22න් පහළ පිරිමි ශූරතාවය දිනූ නාත්තණ්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය
  • ශූරතාවය – නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය
  • අනුශූරතාවය – රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය
  • 3වන ස්ථානය – සීදූව දවිසමර ක්‍රීඩා සමාජය
  • දක්ෂතම පන්දු සකසන්නා – අවිශ්ක කෞශල්‍ය (ධම්මිස්සර ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ප්‍රහාරකයා – ඩී. ජයරත්න (රාජසිංහ ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ක්‍රීඩකයා – මහේල ඉන්දීවර (ධම්මිස්සර ක්‍රීඩා සමාජය)

තරගාවලියේ විවෘත අංශයේ කාන්තා සහ පිරිමි අවසන් මහා තරග වල තරග වාර්තාව සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<