රෂීඩ් ඇතුළු ඇෆ්ගන් ක්‍රීඩකයෝ ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

156

රෂීඩ් ඛාන් ඇතුළු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ වාර්තා කිහිපයක්ම අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවති එකම ටෙස්ට් ක්‍රිකට් තරගය අද (9) ලකුණු 224කින් ජය ගැනීමට සමත් විය.

ස්මිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා මෙවරත් අළු බඳුන කැන්ගරුවන් අතට!

සාමාන්‍ය ටෙස්ට් තරගාවලියකට වඩා අතිශයින්ම චමත්කාරජනක වූත් තරගකාරී වූත් අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි…

මේ දිනවල බංග්ලාදේශය සහ ඒ අවට කාලගුණික තත්වය එතරම් සුබදායී මට්ටමක නොපැවැතීම නිසා තරගය පුරාවටම විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල විය.

පසුගිය දා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරීන් සිය කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය රහ්මත් ශා වෙත ලබා දුන් නමුත් ඔහු එකදු තරගයක හෝ නායකත්වය දැරීමට පෙර නායකත්වයෙන් ඉවත් වීම නිසා රෂීඩ් හට එම නායකත්වයේ වගකීම ලබා දීමට බලධාරීන් තීරණය කළේය.

ඒ අනුව රෂීඩ් ඇෆ්ගන් නායකයා ලෙස සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට පිටියට පිවිසීමත් සමඟම ලොව ළාබාලතම ටෙස්ට් ක්‍රිකට් නායකයා බවට පත්වීමට ද ඔහුට අවස්ථාව උදා විය.

එපමණක් නොව ඔවුන් මෙම තරගයෙන් පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟම අඩුම වයසකින් කණ්ඩායමක් ටෙස්ට් තරග ජයක් වෙත මෙහෙයවූ ලොව ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට රෂීඩ් වාසනාවන්ත විය. ඒ සඳහා සිය උපරිම දස්කම් පෙන්වමින් නායකත්වයේ වගකීම ඉහළින්ම ඉටු කළ ඔහු තරගය පුරාවට කඩුලු 11ක් හා ලකුණු 75ක් ලබා ගත්තේය.

චටග්‍රොම් හිදී පැවැත්වුණු මේ ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එහි දී ලොව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 9වන ස්ථානයේ පසුවන බංග්ලාදේශ ඇතුළු කණ්ඩායම එරෙහිව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 342ක් වාර්තා කර ගැනීමට ඔවුන් සමත් විය.

එහි දී 4 පහර 10ක් හා 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 102ක් ලබා ගත්  රහ්මත් ශා ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට වරම් දිනා ගත්තේය. ඊට අමතරව අස්ගර් ඇෆ්ගන්  ලකුණු 92ක් වාර්තා කරගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නන්ව දැඩි අපහසුතාවයකට පත්කරමින්.

නවෝද්ගේ විශ්මිත දස්කම් මැද ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටයට!

යොවුන් ආසියානු කුසලානයට තවත් පියවරකින් සමීප වෙමින් තමන් මුහුණ දුන් දෙවැනි තරග අභියෝගය ද සාර්ථකව ජය ගැනීමට…

ලකුණු 278කට කඩුලු 6ක් දැවී සිටි මොහොතේ පිටියට පැමිණි නායක රෂීඩ් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 51ක් රැස් කළේය. එම ඉනිම සඳහා 4 පහර 2ක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.

එම ලකුණු 342කට පිළිතුරු ලෙස දියාරු පිතිකරණ රටාවක් දියත් කරමින් පිළිතුරු දුන් සත්කාරක බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 205කට සීමා විය. ලකුණු 55කට කඩුලු 5ක් දවා ගත් රෂීඩ් ඇතුළු ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 137ක සාර්ථක පළමු ඉනිමේ වාසියක් ලබා දීමට වරම් දිනා ගත්තේය.

මෙම තරගය ආරම්භ වූයේ පසුගිය 5 වැනිදා වන අතර ක්‍රමයෙන් දින ගෙවීයත්ම වඩා වැඩි දඟ කැවීමක් ලබා ගැනීම සඳහා තණතීරු වේ සහාය උපරිම ලෙස ලැබෙන බව පෙන්නුම් කළ අතර එය පිතිකරුවන් හට නම් එතරම් සුබදායී ලකුණක් නොවීය.

කෙසේ නමුත් ඉබ්‍රහයිම් සද්රාන් හා අස්ගර් ලබා ගත් අර්ධ ශතක හේතුවෙන් සිය දෙවන ඉනිම ලකුණු 260ක් වෙත රැගෙන ගිය ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් බංග්ලාදේශ ක්‍රීඩකයින් වෙත ලකුණු 398ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙන ලදි.

එය මෙවැනි ආකාරයක තණතීරුවක් මත හොඳ තරගයක් දිය හැකි මට්ටමේ ලකුණක් බවට තේරුම්ගත් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පළමු පන්දුවාරයේ සිටම ආක්‍රමණශීලී පිටියක් සකස් කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ව ලකුණු ලබා ගැනීමට පෙ‍ාළඹවන ලදි.

කෙසේ නමුත් ශද්මන් ඉස්ලාම් (ලකුණු 41) ඇතුළු බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනෙක් ඇෆ්ගනිස්ථාන එම උපක්‍රමය යම් මට්ටමකට තේරුම් ගනිමින් සෙමින් සීරුවේ බංග්ලාදේශ ඉනිම ගොඩනැංවිය.

ශ්‍රී ලාංකිකයින් අවතැන් කළ නයිරෝබියේ ‘අෆ්‍රිඩි’ සුළි කුණාටුව

1996 ඔක්තෝබර් 4 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර හරහා චණ්ඩ මාරුතයක් හමා ගියේය. පෙර දැනුම් දීමකින් තොරව හමා…

නමුත් පළමු ඉනිම සුන් කළ රෂීඩ් නැවත වතාවක් ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවීම නිසා බංග්ලාදේශ කඩුලු එක පිට එක බිඳ වැටෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ආරම්භක අවධිය තුලම ලකුණු 49කට කඩුලු 6ක් දවා ගැනීම සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ගත් ඔහු සිය කණ්ඩායම සාර්ථක තරග අවසානයක් වෙත රැගෙන ගියේය.

බංග්ලාදේශ දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් නායක ශකීබ් අල් හසන් සටන්කාමි පිතිකරණයක නිරත වෙමින් ලකුණු 44ක් ලබා ගත් නමුත් වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් අහිමි වූ තරගයේ අවසන් පන්දුවාර කිහිපය බේරාගැනීමට ශකීබ්  ඇතුළු පසුපෙළ පිතිකරුවන් අසමත්  විය. අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ඉන් තරග දෙකක්ම ජය ගනිමින්  සාර්ථක ලෙස දස්කම් දක්වා තිබේ.

සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කළ මොහොමඩ් නබීට සාර්ථක සමුගැනීමක් තිලිණ කිරීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්  සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය දිනා ගත් රෂීඩ් තමන් වෙත ලැබුණු සම්මානය නබී වෙත පිරිනැමීම මේ තරගයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයටත් වඩා සුවිශේෂී වූ සිදුවීමක් බවට පත් විය.

ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම – 342 (117): රහ්මත් ශා 102, අස්ගර් ඇෆ්ගන් 92,  රෂීඩ් ඛාන් 51, ටයිජුල් ඉස්ලාම් 4/116.

බංග්ලාදේශ පළමු ඉනිම – 205 (70.5): මොමිනුල් හක් 52, මොස්දෙක් හුසේන් 48*, රෂීඩ් ඛාන් 5/55.

ඇෆ්ගනිස්ථාන දෙවන ඉනිම – 260 (90.1): ඉබ්‍රහයිම් සද්රාන් 87, අස්ගර් ඇෆ්ගන් 50, ඇෆ්සාර් සසායි 48, ශකීබ් අල් හසන් 3/58.

බංග්ලාදේශ දෙවන ඉනිම – 173 (61.4): ශකීබ් අල් හසන් 44, ශද්මන් ඉස්ලාම් 41, රෂීඩ් ඛාන් 6/49, සහීර් ඛාන් 3/59.

තරගයේ වීරයා – රෂීඩ් ඛාන්

තරගයේ වීරයා ලෙස දස්කම් දැක්වූ රෂීඩ් ටෙස්ට් තරගයක නායකයා ලෙස අර්ධ ශතකයක් හා කඩුලු 10ක් දවා ගත් ලොව තෙවැනි ක්‍රීඩකයා බවට පත්වූයේ වසර 30ක් ඉපැරණි වාර්තාවක් අලුත් කරමිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<