ලක් බොක්සිං දෑත් සක්‍රිය වන පොදුරදමඬුලු ක්‍රීඩා උළෙල

401

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හම් හිදී අද (28) පැවැත්වෙන සමාරම්භක උත්සවයකින් පසුව ඇරඹෙනවා. ඊට සහභාගී වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම හෙට (29) සිට තරග බිමට පිවිසෙනවා.

ලයිට් වෙල්ටර්වෙයිට් බර පන්තියෙන් තරග වදින සංජීව රාජකරුණා හෙට පළමු 32 දෙනා අතර සිට ඉදිරියට යාමට තරග වදිනු ඇති. ඉෂාන් සෙනවිරත්න ෆ්ලයිවෙයිට් බර පන්තියෙන් පළමු 16 දෙනාගේ සිට ඉදිරියට යාමේ තරග වලට සහභාගී වන්නේ එළඹෙන අගෝස්තු 01 වැනිදායි.

ෆෙදර්වෙයිට් බර පන්තියෙන් තරග වදින විමුක්ති කුමාර අගෝස්තු 01 වැනිදා තරග බිමට පිවිසෙද්දී, මෑතක දී අවසන් වූ අයින්දෝවන් බොක්සිං තරගාවලියේ පදක්කම් ලාභී ක්‍රීඩක රුක්මාල් ප්‍රසන්න බැන්ටම් වෙයිට් බර පන්තියෙන් අගෝස්තු දෙවැනි දා තරග බිමට පිවිසෙනවා.

බොක්සිං ක්‍රීඩිකාවන් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන අත්දැකීම් බහුල සංජීවනී කුරේ ෆෙදර්වෙයිට් බර පන්තියෙන් අගෝස්තු දෙවැනි දා තරග බිමට පිවිසෙන අතර කිලිනොච්චියෙන් බිහිවූ වී.නිකලස් ලයිට් මිඩ්ල්වෙයිට් බර පන්තියෙන් එදිනම බොක්සිං වළල්ලට පිවිසෙනු ඇති.

ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං පදක්කම් බලාපොරොත්තුවක් වන කේෂානි හංසිකා ලයිට් ෆ්ලයිවෙයිට් බර පන්තියෙන් අගෝස්තු තුන්වැනි දා තරග බිමට පිවිසෙනවා. ඒ තරගය අර්ධ අවසන් පූර්ව තරගයක් වීම විශේෂත්වයක්. නදීකා පුෂ්පකුමාරි එදිනම මිනිමම් වෙයිට් බරපන්තියෙන් අර්ධ අවසන් පූර්ව තරගයකට පිවිසෙනවා.

පදක්කම් බලාපොරොත්තු සහිත ක්‍රීඩාවක් වන බොක්සිං ක්‍රීඩාව ශ්‍රී ලංකාවට පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම හිමි කර දුන් ක්‍රීඩාව ද වනවා. ඒ බානි හෙන්රිකස් විසින් 1938දී දිනා ගත් රන් පදක්කමයි. 2018දී අනූෂා කොඩිතුවක්කු විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

මේ වසරේ දී කුමක් සිදු වේවි ද? රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<