චාමර, රුක්මල් සහ සංජීවනී අර්ධ අවසන් පූර්ව වටයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

462

හිරු නොබසින අධිරාජ්‍යයේ දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (03) පැවති තරග ඉසව්වල දී අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන, බොක්සිං ක්‍රීඩක රුක්මල් ප්‍රසන්න සහ බොක්සිං ක්‍රීඩිකා සංජීවනී කුරේ සමත් වුනා.

ජූඩෝ

ඊයේ පැවති තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට පිටියට පිවිසියේ ජූඩෝ ක්‍රීඩකයින්. ඒ අතර චාමර ධර්මවර්ධන සහ රාජිත පුෂ්පකුමාර වූ අතර ඔවුන් දෙදෙනා ම නියෝජනය කළේ 16 දෙනාගෙන් යුත් වටයේ තරගයි.

2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 73 බර පංතියෙන් රිදී පදක්කම්ලාභී චාමර ධර්මවර්ධන ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමුවැනියා ලෙසින් පිටියට පිවිසියා. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ බොට්ස්වානා රාජ්‍යය නියෝජනය කරමින් Junior World Championships සහ African Championships තරගවල දක්ෂතා දැක්වූ 26 හැවිරිදි Tirelo Lekoko.

එහි දී ප්‍රවර්තන කාලය ද උපයෝගී කර ගත් චාමර ධර්මවර්ධන ප්‍රතිවාදියා 10-2ක් ලෙසින් මෙල්ල කරමින් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ඉන් අනතුරුව ජූඩෝ පිටියට පිවිසියේ කිලෝග්‍රෑම් 81 බර පංතිය නියෝජනය කළ රාජිත පුෂ්පකුමාර. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ පසුගිය වසරේ දී ලෝක ජූඩෝ ශූරතාවලිය නියෝජනය කළ නවසීලන්තයේ Elliott Connolly. එම තරගයේ දී 10-0ක පරාජයකට මුහුණ දීමට රාජිතට සිදු වුනා.

බොක්සිං     

2019 වසරේ නේපාලයේ දී පවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී බොක්සිං ලෝකඩ පදක්කමක් දිනා ගත් සංජීවනී කුරේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා එක් වෙන්නේ කිලෝග්‍රෑම් 54-57 බර පංතිය යටතේ Featherweight ඉසව්වෙන්.

16 දෙනාගේ වටයට එක් වූ ඇයගේ ප්‍රතිවාදිණිය වූයේ පාකිස්තානයේ පළමු බොක්සිං ක්‍රීඩිකාව ලෙසින් හැඳින්වෙන Mehreen Baloch. පාකිස්තානය වෙනුවෙන් පළමු අන්තර් ජාතික පදක්කම වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

කෙසේ වෙතත් ඊයේ ඇයට තමන් සහභාගී වූ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පාකිස්තානය වෙනුවෙන් සතුටු විය හැකි යමක් කළ හැකි වූයේ නැහැ. විනිසුරු තීරණයක් මත ඇයට 5-0ක පරාජයකට මුහුණ දීමට සිදු වුනා. ඒ අනුව  සංජීවනී තම ඉසව්වේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවා.

මේ අතර පිරිමි කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight 16 දෙනාගේ වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්න 2019 වසරේ African Games හී රිදි පදක්කම්ලාභී කෙන්යාවේ Shaffi Bakari Hassan සමඟ තරග වැදුණා.

තියුණු තරගයකින් අනතුරුව 3-2ක ජයග්‍රහණයක් ලැබූ රුක්මාල් තම ඉසව්වේ අර්ධ අවසන් වටය නියෝජනය කිරීමට සමත් වූවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පිරිමි කිලෝග්‍රෑම් 67-71 බර පංතියේ Light Middleweight 16 දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකාවේ නික්ලස් විටාලිස්ට විනිසුරු තීරණ හමුවේ 5-0ක පරාජයකට මුහුණ දෙන්නට සිදු වුනා. ප්‍රථම වරට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් නියෝජනය කළ විටාලිස්ගේ ප්‍රතිවාදියා වූයේ නිමා වූ ඔලිම්පික් උළෙල නියෝජනය කළ සැමුවා රාජ්‍යයේ Marion Faustino.

බර එසවීම

බර එසවීමේ  කාන්තා කිලෝග්‍රෑම් 87 බර පංතියේ අවසන් තරගයට සහභාගී වූ චතුරිකා ප්‍රියන්තිට හිමි වූයේ 7 වැනි ස්ථානයයි. එහි දී ඇය Snatch ක්‍රමය යටතේ තමන්ට ලද පළමු අවස්ථාවේම කිලෝග්‍රෑම් 81ක බරක් ඔසවන්නට සමත් වුනා. අනතුරුව අවස්ථා දෙකේ දී ම කිලෝග්‍රෑම් 86ක බරක් එසවීමට ඇය උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැහැ.

Clean & Jerk ක්‍රමය යටතේ පළමු අවස්ථාවේ කිලෝග්‍රෑම් 105ක් එසවූ ඇය දෙවැනි අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 111ක් ඔසවනු ලැබුවා. අවසන් අවස්ථාවේ ඇය කිලෝග්‍රෑම් 114ක් එසවීමට ගත් උත්සාහ එය සාර්ථක වූයේ නැහැ. ඇය විසින් ඔසවන ලද සමස්ත බර ප්‍රමාණය 192ක්.

මෙම ඉසව්වේ රන් පදක්කම කිලෝග්‍රෑම් 255ක් ඔසවමින් ඕස්ට්‍රේලියාවේ 22 හැවිරිදි Eileen Cikamatana විසින් දිනා ගත්තේ නව තරග වාර්තාවක් ද පිහිටුවමින්. රිදී පදක්කම කිලෝග්‍රෑම් 236 එසවූ කැනඩාවේ Kristel Ngarlem ද සහ ලෝකඩ පදක්කම කිලෝග්‍රෑම් 225ක් එසවූ නයිජීරියාවේ Mary Taiwo Osijo විසින් දිනා ගත්තා.

වෙරළ වොලිබෝල්

ශ්‍රී ලංකා සහ ගැම්බියාව අතර මධ්‍යම රාත්‍රියේ දී පැවති පිරිමි වෙරළ වොලිබෝල් පළමු වටයේ තරගයේ දී තරග වට 2-1ක් ලෙසින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලින්ත යාපා සහ අශේන් රශ්මික තරගයට සහභාගී වුනා.

පළමු වටයේ දී ලකුණු 21-14ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය වූව ද, දෙවැනි වටයේ දී ලකුණු 21-19ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුනා. තෙවැනි වටයේ දී නැවත ඉදිරියට පැමිණි ගැම්බියා ක්‍රීඩකයෝ එම වටය ලකුණු 15-9ක් ලෙසින් ජය ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු තරගයේ දී කැනඩාව වෙතින් 2-0ක පරාජයකට මුහුණ දුන්නා. ඔවුන් සහභාගී වන තෙවැනි තරගය හෙට (4) සාන්ත කිට්ස් දූපත් රාජ්‍ය සමඟ පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී කාන්තා වෙරළ වොලිබෝල් තරග ඉසව්වේ පළමු වටයේ දෙවැනි තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සයිප්‍රසයයි.

චතුරිකා වීරසිංහ සහ දීපිකා බණ්ඩාර සහභාගී වූ එම තරගයේ දී තරග වට 2-0ක පරාජයක් ලැබීමට ඔවුන්ට සිදු වුනා. ලකුණු පුවරුව දිස් වූයේ 21-8ක් සහ 21-10ක් ලෙසයි.

ඔවුන් ඊට පෙර ඕස්ට්‍රේලියාව හමුවේ ද 2-0ක පරාජයක් ලැබූ අතර පළමු වටයේ ඔවුන් මුහුණ දෙන තෙවැනි තරගය හෙට (4) ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍ය සමඟ පැවැත්වීමට නියමිතයි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ඊයේ මලල ක්‍රීඩා ඉසව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට යුපුන් සහ ගයන්තිකා සමත් වුනා.

අද (03) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව ඉසව්ව වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්)
මලල ක්‍රීඩා කවපෙත්ත විසිකිරීම (පාලිත හල්ගහාවෙල) දහවල් 1:15
ජූඩෝ කාන්තා 78kg Elimination round (හිරුණි විතාන) දහවල් 2:30
ස්කොෂ් මිශ්‍ර ද්විත්ව 32 දෙදෙනාගේ වටය (ශ්‍රී ලංකාව සහ පාකිස්තානය) සවස 3:00
ස්කොෂ් මිශ්‍ර ද්විත්ව 32 දෙදෙනාගේ වටය (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව) සවස 3:30
බැඩ්මින්ටන් පිරිමි කේවල (දුමිඳු අබේවික්‍රම) සවස 4:30
මලල ක්‍රීඩා මීටර් 400 පිරිමි (කාලිංග කුමාරගේ) සවස 4:30
බැඩ්මින්ටන් පිරිමි කේවල (නිලූක කරුණාරත්න) සවස 5:00
බොක්සිං කාන්තා Light fly අවසන් පූර්ව තරග (කෙශානි හංසිකා) සවස 5:30
බර එසවීම කාන්තා 87kg+ අවසන් තරගය (තිමාලි හපුතැන්න) සවස 6:30
බොක්සිං කාන්තා Minimumweight අවසන් පූර්ව තරග (නදීකා පුෂ්පකුමාරි) රාත්‍රි 10:30
බර එසවීම පිරිමි 109kg+ අවසන් තරගය (උෂාන් තාරුක) රාත්‍රි 11:00
මලල ක්‍රීඩා මීටර් 100 අවසන් පූර්ව තරග (යුපුන් අබේකෝන්) රාත්‍රි 11:56

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය අදයි (03). ක්‍රීඩා උළෙලේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<