ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අණසක පැතිර වූ CWG 7 වැනි දිනය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

5438
Commonwealth Games 2022 local players daily Round Up

එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, මිශ්‍ර යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා, පිරිමි යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක මෙසේ 16 දෙනාගේ වට නියෝජනයට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර ස්කොෂ් පිරිමි යුගල ඉසව්වට එක් වූ ලක්සිරි රවිඳු සහ ශමිල් වකීල් ද එම ඉසව්වෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

බැඩ්මින්ටන්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම පිටියට පිවිසියේ නිලූක කරුණාරත්න. 32 දෙදෙනාගේ වටයට එක් වූ නිලූක ප්‍රතිවාදී බාබඩෝස් ක්‍රීඩක Shae Michael Martinට එරෙහිව තරග වට 2-0කින් ජයග්‍රහණය කළේ 21-6ක් සහ 21-5ක් ලෙසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

එම ඉසව්වෙන් ම 32 දෙදෙනාගේ වටය නියෝජනය කළ දුමිඳු අබේවික්‍රම ද පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට මධ්‍යම රාත්‍රියේ දී සමත් වුනා. ඒ තරග වට 2-0කින් මෝල්ටාවේ Samuel Cassar පරාජය කරමින්. ඔවුන් අතර පැවති තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 21-12ක් සහ 22-20ක් ලෙසයි.

මිශ්‍ර යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා කැනඩා ක්‍රීඩකයන් වූ Alexander Lindeman සහ Josephine Yuenling Wu 21-11ක් සහ 21-18ක් ලෙසින් පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වීම කැපී පෙනුණා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බාබඩෝස් ක්‍රීඩකයන් වූ King Maarten සහ Martin Shae.

මේ අතර අද පැවති කාන්තා ඒකල බැඩ්මින්ටන් ඉසව්වේ 32 දෙදෙනාගේ වටයට එක් වූ සුහස්නි විදානගේ එංගලන්තයේ Freya Redfearn වෙතින් තරග වට 2-0ක පරාජයක් ලැබුවා. ඒ අනුව ඇයගේ එම ඉසව්වේ ගමන එතෙකින් අවසන් වූ අතර ලකුණු තත්ත්වය කියැවුණේ 21-11ක් සහ 21-14ක් ලෙසයි.

බොක්සිං

අද පැවති බොක්සිං තරගවලින් පළමුවෙන් ම පිටියට පිවිසි මෙරට තරගකරුවා වූයේ සංජීවනී කුරේ. කාන්තා කිලෝග්‍රෑම් 54-57 බර පංතියේ Featherweight ඉසව්වේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ඇය රුසියාවේ Phiwokuhle Sbusisiwe Mnguni වෙතින් පරාජයට පත් වූවා.

ඔවුන් අතර පැවති තරගය දෙවැනි වටය අවසානයේ නතර කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟින් සංජීවනීගේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් බලාපොරොත්තුව ද ගිලිහී ගියා.

මේ අතර මධ්‍යම රාත්‍රියේ පැවති කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight ඉසව්වේ තෙවැනි අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්නට ද තම ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුව අහිමි කර ගැනීමට සිදු වුනා. ඒ ගයානාවේ Abraham Mensh වෙතින් 3-0ක පරාජයක් ලබා ගැනීමත් සමඟින්.

ස්කොෂ්

පිරිමි යුගල 32 දෙදෙනාගේ වටය නියෝජනය කරමින් ලක්සිරි රවිඳු සහ වකීල් ශමිල් අද ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ස්කොෂ් ක්‍රීඩකයන් ලෙසින් පිටියට එක් වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගයනාවේ Wiltshire Shomari සහ Khalil Jason.

එම තරගයේ දී 11-5ක් සහ 11-6ක් ලෙසින් ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර කාන්තා යුගල 32 දෙදෙනාගේ වටය නියෝජනය කරමින් තරග බිමට පිවිසි යෙහෙනි කුරුප්පු සහ චනිත්මා සිනාලිට තව දුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවකාශ ලැබුණේ නැහැ.

ඒ ඉන්දීය ක්‍රීඩිකාවන් වූ Kuruvilla Sunayna Sara සහ Anahat Singh වෙතින් තරග වට 2-0ක පරාජයක් ලැබීම හේතුවෙන්. අවසන් ලකුණු පුවරුව කියැවුණේ 11-9ක් සහ 11-4ක් ලෙසයි.

පිහිනුම්

මධ්‍යම රාත්‍රියේ පැවති පිහිනුම් කිමිඳුම් පිරිමි Springboard මීටර් 1 අවසන් මහා තරගයට සහභාගී වූ දුලංජන් ප්‍රනාන්දු ලකුණු 232.50ක් ලබා ගනිමින් එම ඉසව්වේ 10 වැනි ස්ථානය දිනා ගත්තා.

එහි රන් පදක්කම එංගලන්තයේ Jack David විසින් දිනා ගත්තේ ලකුණු 447.05ක් ලබා ගනිමින්. රිදී පදක්කම ඕස්ට්‍රේලියාවේ Shixin Li විසින් දිනා ගත් අතර එංගලන්තයේ Jordan Houlden විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් Rhythmic ඒකල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට එක් වූ  ශ්‍රී ලංකා ක්‍රීඩිකා Anna Marie Ondaatj තම ඉසව්වට සාර්ථකව මුහුණ දුන්නා. ඒ අනුව ඇය ලකුණු 90.550ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් මහා තරගයට මුහුණ දීමට සුදුසුකම් ලබා ගත්තා.

වෙරළ බොලිබෝල්

මධ්‍යම රාත්‍රියේ පැවති වෙරළ වොලිබෝල් මූලික වටයේ පිරිමි තරගය සඳහා අශේන් රශ්මික සහ මලින්ත යාපා සහභාගී වූ අතර ඔවුන් විසින් සාන්ත කිට්ස් රාජ්‍ය නියෝජනය කළ Clair Hodge සහ Shawn Seabrookers පරාජය කළා.

එහි දී ඔවුන් විසින් 21-11ක් සහ 21-11ක් ලෙසින් ප්‍රතිවාදීන් පරාජය කිරීමට සමත් වූවා.

මේ අතර පැවති කාන්තා ඉසව්ව නියෝජනය කළ දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍ය Suraya Chase සහ Phylecia Armstrong 2-0ක ජයග්‍රහණය ලබා ගනිමින් ඊළඟ වටයට සුදුසුකම් ලබා ගත්තා.

අද (05) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව ඉසව්ව වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්)
බැඩ්මින්ටන් ඒකල පිරිමි අවසන් 16 (දුමිඳු අබේවික්‍රම) සවස 5:30
බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් (සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා) රාත්‍රි 10:00
බැඩ්මින්ටන් ඒකල පිරිමි අවසන් 16 (නිලූක කරුණාරත්න) රාත්‍රි 11:20
බැඩ්මින්ටන් කණ්ඩායම් පිරිමි (සචින් සහ බුවනෙක ගුණතිලක) මධ්‍යම රාත්‍රි 12:40
ස්කොෂ් මිශ්‍ර කණ්ඩායම් – පළඟ අර්ධ අවසන් පූර්ව (චනිත්මා සෙනාලි සහ ශමිල් වකීල්) සවස 5:15
ස්කොෂ් මිශ්‍ර කණ්ඩායම් – පළඟ අර්ධ අවසන් පූර්ව (යෙහෙනි කුරුප්පු සහ රවිඳු ලක්සිරි) සවස 6:00
ස්කොෂ් පිරිමි කණ්ඩායම් – අවසන් 16 (රවිඳු සහ ශමිල් වකීල්) සවස 4:30
වෙරළ වොලිබෝල් පිරිමි අර්ධ අවසන් පූර්ව (කැනඩාව සමඟින්) රාත්‍රි 01:30
වෙරළ වොලිබෝල් කාන්තා අර්ධ අවසන් පූර්ව (ඕස්ට්‍රේලියාව සමඟින්) රාත්‍රි 9:00
මල්ලවපොර කාන්තා freestyle 62kg – අර්ධ අවසන් පූර්ව (සචිනි වේරදුවගේ) සවස 3:00 සිට
මල්ලවපොර පිරිමි freestyle 86kg අවසන් තරගය (සුරේෂ් ප්‍රනාන්දු) සවස 3:00 සිට
මල්ලවපොර කාන්තා freestyle 57kg – අර්ධ අවසන් පූර්ව (නෙත්මි පෝරුතොටගේ) සවස 3:00 සිට
මලල ක්‍රීඩා කාන්තා මීටර් 1500 – මූලික වටය (ගයන්තිකා අබේරත්න) සවස 3:56
මලල ක්‍රීඩා පිරිමි මීටර් 400 – අර්ධ අවසන් පූර්ව (කාලිංග කුමාරගේ) රාත්‍රි 1:50
මලල ක්‍රීඩා මීටර් 3000 බාධක (නිලානි රත්නායක) රාත්‍රි 2:12

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනයේ ශ්‍රී ලාංකික දක්ෂතා ද ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<