තිමාලි ශ්‍රී ලංකා වාර්තාවක් තබද්දී දුමිඳු සහ නිලූක ඉදිරි වටයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

814

එංගලන්තයේ දී පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය ඊයේ (03) සාර්ථකව නිමාවට පත් වුනා.

එහි දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් සහ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර පිළිවෙළින් ලෝකඩ සහ රිදි පදක්කම් ශ්‍රී ලංකාව දිනා දෙන්නට සමත් වුනා. එම ඉසව්වලට අමතරව පැවති අනෙක් තරගවල දී බර එසවීමේ ක්‍රීඩිකා තිමාලි හපුතැන්න විසින් ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරද්දී, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාත්න සහ දුමිඳු වික්‍රමරත්න මීළඟ තරග වට සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

බර එසවීම

අද (4) අලුයම නිමා වූ කිලෝග්‍රෑම් 87ට වැඩි කාන්තා බර එසවීමේ ඉසව්වට සහභාගී වූ තිමාලි හපුතැන්න එම තරගය නිමා කළේ නව ශ්‍රී ලංකාව වාර්තාවක් බිහි කරමින්.

තිමාලි තම ඉසව්ව 8 වැනි ස්ථානයට පත් වෙමින් නිමා කළ ද ඇය විසින් Snatch ක්‍රමය යටතේ ඔසවනු ලැබූ කිලෝග්‍රෑම් 89ක බර ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වූයේ නව වාර්තාවක් ලෙසයි. මීට පෙර ද ඇය සතු වූ මේ වාර්තාවේ දක්ෂතාව කිලෝග්‍රෑම් 88ක්.

මෙම තරගයේ දී Snatch ක්‍රමය යටතේ තම උත්සාහක අවස්ථා තුන ම සාර්ථක කර ගැනීමට තිමාලි සමත් වීම කැපී පෙනුණා. එහි දී ඇය කිලෝග්‍රෑම් 80ක්, 85ක් සහ 89ක් ඔසවනු ලැබුවා.

Clean & Jerk ක්‍රමයේ දී පළමු අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 105ක් ද, දෙවැනි අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 110ක් ද එසවීමට ඇය සමත් වූවා. එහි අවසන් අවස්ථාවේ දී ඇය කිලෝග්‍රෑම් 113ක් එසවීමට උත්සාහය කළ ද එය සාර්ථක වූයේ නැහැ. කෙසේ වෙතත් ඇය සමස්ත බර කිලෝග්‍රෑම් 199ක් ඔසවනු ලැබුවා.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 90ට වැඩි බර පංතියේ ලෝකඩ පදක්කම දිනූ එංගලන්තයේ Emily Campbell සමත් වූයේ පොදරාජ්‍ය මණ්ඩලීය මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද නව වාර්තාවක් පිහිටුවමින්.

එහි රිදී පදක්කම පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 90ට වැඩි බර පංතියේ රන් පදක්කම දිනූ සැමුවා රාජ්‍යයේ Feagaiga Stowers විසින් ද, ලෝකඩ පදක්කම පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 90ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනූ Charisma Amoe Tarrant විසින් ද දිනා ගත්තා.

මේ අතර පිරිමි බර එසවීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 109ට වැඩි බර පංතියෙන් තරග බිමට පිවිසි උෂාන් චාරුකට හිමි වූයේ ද එහි 8 වැනි ස්ථානයයි. ඔහුගේ පළමු Snatch උත්සාහය අසාර්ථක වූ අතර දෙවැනි උත්සාහයේ දී කිලෝග්‍රෑම් 138ක බරක් ඔසවනු ලැබුවා. නැවත තෙවැනි අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 145ක් එසවීමට උත්සාහ කළ ද, පළමු අවස්ථාවේ දී සේ ම එම අවස්ථාව ද අසාර්ථක වූවා.

Clean & Jerk ක්‍රමය යටතේ ද පෙර සේ ම පළමු අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 175ක් එසවීමට ගත් උත්සාහය අසාර්ථක වූව ද දෙවැනි අවස්ථාවේ දී එම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔහු සමත් වුනා. තෙවැනි අවස්ථාවේ ඔහුගේ උත්සාහය වූයේ කිලෝග්‍රෑම් 180ක බරක් එසවීමට. නමුත් එම අවස්ථාව ඔහුගෙන් ගිලිහි ගියා. තරගය නිමා කරන විට උෂාන් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 313ක් ඔසවා තිබුණා.

එම ඉසව්වේ රන් පදක්කම ගියවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 105ට වැඩි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් පාකිස්තානයේ Nooh Destgir විසින් දිනා ගත්තේ නව තරග වාර්තාවක් ද සමඟින්.

එහි රිදී පදක්කම ගියවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 105ට වැඩි ඉසව්වේ රන් පදක්කම දිනා ගත් David Andrew Liti විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම ඉන්දියාවේ Gurdeep Singh විසින් දිනා ගත්තා.

බැඩ්මින්ටන්

ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම තරගයට පිවිසියේ බැඩ්මින්ටන් පිරිමි ඒකල ඉසව්වේ 64 දෙනාගේ වටය නියෝජනය කළ දුමිඳු අබේවික්‍රම. ඔහු තරග වට 2-1ක් ලෙස ජයග්‍රහණය කරමින් ඉදිරි වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවා.

ඔහුගේ ප්‍රතිවාදියා වූයේ මීට පෙර 2014 සහ 2016 වසරවල පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ සහ African ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී මුරුසි දිවයිනේ Astish Lubah.

ඔවුන් දෙදෙනා අතර පැවති තරගයේ පළමු වටය දුමිඳු ජයග්‍රහණය කළේ ලකුණු 21-7ක් ලෙසින්. අනතුරුව පැවති දෙවැනි වටයේ දී 22-20ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩකයා ජයග්‍රහණය කළා. තෙවැනි වටයේ දී 21-11ක් ලෙස ජයග්‍රහණය කිරීමට දුමිඳු සමත් වුනා.

ඔවුන් දෙදෙනා අතර පැවති තරගයේ පළමු වටය දුමිඳු ජයග්‍රහණය කළේ ලකුණු 21-7ක් ලෙසින්. අනතුරුව පැවති දෙවැනි වටයේ දී 22-20ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩකයා ජයග්‍රහණය කළා. තෙවැනි වටයේ දී 21-11ක් ලෙස ජයග්‍රහණය කිරීමට දුමිඳු සමත් වුනා.

ස්කොෂ්

ස්කොෂ් කණ්ඩායම් මිශ්‍ර යුගල 32 දෙදෙනාගේ වටය අද පැවති අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාකිස්තානය සහ ඉන්දියාව සමග තරග වැදුණා.

පළමුවෙන් ම පැවතියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයයි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් චනිත්මා සිනලි සමඟින් ශමිල් වකීල් සහභාගී වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තානයේ Zafar Faiza සහ Iqbal Nasir.

ඔවුන් අතර පැවති පළමු වටය ලකුණු 11-10ක් ලෙසින් තියුණු අවසානයකින් යුක්ත වෙමින් ජයග්‍රහණය පාකිස්තානය සතු වුනා. දෙවැනි වටය ද ලකුණු 11-5ක් ලෙසින් නිමා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව තරග වට 2-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති මිශ්‍ර යුගල ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යෙහෙනි කුරුප්පු සහ රවින්දු ලක්සිරි සහභාගී වුනා. ඉන්දියාව නියෝජනය කළේ Chinnappa Joshana සහ Harindrapal Singh. ඔවුන් අතර පැවති තරගය වට 3ක් දක්වා දිගු වූවා.

එහි දී පළමු වටයේ දී ලකුණු 11-8ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. නමුත් දෙවැනි සහ තෙවැනි වටයන් 11-4ක් සහ 11-3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුනා. ඒ අනුව 2-1ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ එම ඉසව්වේ ඉදිරි වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ජූඩෝ

ජූඩෝ කාන්තා කිලෝ ග්‍රෑම් 78ට වැඩි බර පංතියේ 16 දෙනාගේ වටයට සහභාගී වූ හිරුණි විතාන මුරුසි දිවයිනේ Tracy Durhone සමඟ තරග වැදුණා. එහි දී ලකුණු 10-0ක පරාජයක් ලැබීමට හිරුණිට සිදු වුනා.

බොක්සිං

කාන්තා බොක්සිං තරග නියෝජනය කරමින් අද පළමුවෙන් ම පිටියට පිවිසියේ කිලෝග්‍රෑම් 48-50 බර පංතියේ  Light fly ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ කෙශානි හංසිකා. ඇයගේ ප්‍රතිවාදිණිය වූයේ උතුරු අයර්ලන්තයේ Carly McNaul.

ඔවුන් අතර පැවති තරගයෙන් 5-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාව සමත් වුනා.

බොක්සිං කාන්තා කිලෝ ග්‍රෑම් 45-48 බර පංතියේ Minimumweight ඉසව්වේ අවසන් පූර්ව තරග වටය සඳහා සහභාගී වූ නදීකා පුෂ්පකුමාරිට ද තම තරගය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැහැ. ඇයගේ ප්‍රතිවාදිණිය වූ බොට්ස්වානා ක්‍රීඩිකා Bokamoso Modukanele වෙතින් 4-0ක පරාජයක් ලැබීමට ඇයට සිදු වුනා.

අද (04) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව ඉසව්ව වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්)
ක්‍රිකට් ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් සවස 3:30
Rhythmic Gymnastics කණ්ඩායම් සහ ඒකල (Anna Ondaatje) සවස 4:30
බැඩ්මින්ටන් කාන්තා කේවල (සුහන්සි විදානගේ) සවස 4:30
බැඩ්මින්ටන් පිරිමි කේවල (නිලූක කරුණාරත්න) සවස 5:00
ස්කොෂ් පිරිමි කණ්ඩායම් (ශ්‍රී ලංකාව සහ ගයනාව) සවස 5:00
ස්කොෂ් කාන්තා කණ්ඩායම් (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව) සවස 5:30
බොක්සිං කාන්තා Featherweight (සංජීවනි කුරේ) සවස 5:30
කිමිඳුම් පිරිමි මීටර් 1 Springboard මූලික වටය (දුලංජන් ප්‍රනාන්දු) සවස 5:35
බැඩ්මින්ටන් පිරිමි කේවල (දුමිඳු අබේවික්‍රම) රාත්‍රි 9:00
බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් (සචින් ඩයස්/ තිළිණි හෙන්දහේවා) රාත්‍රි 10:00
බොක්සිං පිරිමි Bantamweight (රුක්මාල් ප්‍රසන්න) රාත්‍රි 11:00
වෙරළ වොලිබෝල් පිරිමි මූලික වටය (ශ්‍රී ලංකාව සහ St Kitts and Nevis) රාත්‍රි 11:30
බැඩ්මින්ටන් පිරිමි කණ්ඩායම් (සචින් ඩයස්/ බුවනෙක ගුණතිලක) මධ්‍යම රාත්‍රි 12:00
වෙරළ වොලිබෝල් කාන්තා මූලික වටය (ශ්‍රී ලංකාව සහ Trinidad and Tobago) පසුදා උදෑසන 01:30

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 6 වැනි දිනය අදයි (03). ක්‍රීඩා උළෙලේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

 >> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<