IPL මෙවර UAE හි නිසා RCBට වාසි – හිටපු ක්‍රීඩකයෙකුගෙන් අනාවැකි

3554
(iplt20.com)

ICCය විසින් මේ වසරේ දී පවත්වන්නට නියමිතව තිබුණු විස්සයි විස්ස ලෝක කුසලානය කල් දමන බව පසුගිය දා නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් – ඔක්තෝබර් කාල රාමුවේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැන් අවස්ථාවක් ලැබී තිබෙනවා. 

IPL තරගාවලියේ සභාපති බ්‍රිජේෂ් පටෙල් පවසන ආකාරයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් හිදී පවත්වන්නට සැලසුම් කරන අතර ලබන සතියේ දී පවත්වන්නට නියමිත රැස්වීමකින් පසුව ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි.

2020 IPL සත්කාරකත්වය තීන්දුයි

IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් හිදී පැවත්වූවහොත් තරගාවලිය කෙසේ ක්‍රියාත්මක වේ ද යන්න බොහෝ දෙනාට ඇති ගැටලුවක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති දැඩි රස්නය හා ආර්ද්‍රතාව නිසා ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීම අපහසු වනු ඇත. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ආකාශ් චෝප්රා ද පවසා සිටින්නේ ක්‍රීඩකයින්ට අව් රශ්මිය හා විජලනය සමඟ සටන් කිරීමට සිදු වනු ඇති බවයි.

“ලොකු ගැටලුවක් නැති වුනත් ඔවුන්ට අව් රශ්මිය සමඟ සටන් කරන්නට සිදු වෙයි. මේ දිනවල නම් කාලගුණය හොඳයි. බොහෝ විට එහි උෂ්ණත්වය අධිකයි. සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල උෂ්ණත්වය තරමක් අඩුයි” චොප්රා සිය Aakash Vani, Youtube නාලිකාව වෙත පවසා තිබුණා. 

“ලොකුම ගැටලුව තමයි තරගාවලිය සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වෙලා නොවැම්බර් 7 වැනිදා අවසන් වුනොත් අවසන් මහා තරග පවත්වන්නත් එක්ක අපිට ලැබෙන්නේ සති 6ක් පමණයි. ඒ නිසා ලීග් වටය සති පහක් තුළ පවත්වන්නට නම් ළඟ ළඟ තරග පවත්වන්නට සිදු වෙයි.”

මේ වසරේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටේ

“තණතිලි වල තත්වය පිතිකරණයට වැදගත් වෙන්නේ නැහැ. සමහර කණ්ඩායම්වලට මේක වාසියක් වෙන්න පුළුවන්. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වගේ කණ්ඩායම්වලට මේක ලොකු වාසියක් වෙන්න පුළුවන්. ක්‍රීඩාංගණ විශාල නිසා පන්දු යවන්නන් එතරම් දුර්වල වුනත් කණ්ඩායම්වලට දරා ගන්න පුළුවන් වෙයි. RCB සමහර විට හොඳින් දක්ෂතා පෙන්වයි.”

“හොඳ දඟපන්දු යවන්නන් ඉන්න චෙන්නායි සුපර් කිංග්ස් වගේ කණ්ඩායම් නැවත වතාවක් සුපිරි දස්කම් දක්වයි. කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමටත් එමීර් රාජ්‍යය හොඳින් ගැලපෙයි. මැක්ස්වෙල් එහි දී හොඳින් ක්‍රීඩා කළොත් ඔවුන්ටත් වාසියක් තියෙයි.”

“පිතිකරුවන් තමයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද එක ළඟ තරග ක්‍රීඩා කරන්න සිදු වුනොත් ඔවුන්ට රශ්මිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා.”

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<