ගංගා හොඳම කාලය වාර්තා කර CWG සිව්වැනි දිනය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

480

බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (01) අවසන් වූ තරග ඉසව්වල දී ස්කොෂ් කාන්තා කේවල පලඟ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ චනිත්මා සිනාලි එම තරගයෙන් පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත් වෙද්දී, කාන්තා මීටර් 200 පසුපසආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ දී තම හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට ගංගා සෙනෙවිරත්න සමත් වුනා.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට අවසන් වරට රන් පදක්කමක් දිනා දුන් ක්‍රීඩකයා ලෙසින් ගෞරවයට පත් චින්තන විදානගේ ද ඊයේ තරග බිමට පිවිසි අතර ඔහුටත් තමන්ගේ ඉසව්වෙන් සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

ස්කොෂ්       

කාන්තා ස්කොෂ් ඉසව්වේ පලඟ අර්ධ අවසන් පූර්ව වටයේ කේවල ඉසව්ව නියෝජනය කළ චනිත්මා සිනාලි ඉන්දීය ක්‍රීඩිකා Sunayna Sara Kuruvilla වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා. ඒ හේතුවෙන් පදක්කම් බලාපොරොත්තුවක සිටි චනිත්මාට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා. තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 11-3ක්, 11-2ක් සහ 11-2ක් ලෙසයි.

පිහිනුම්

මීට පෙර කාන්තා මීටර් 100 පසුපසආර ඉසව්වට සහභාගී වෙමින් තම හොඳම කාලය වාර්තා කළ 19 හැවිරිදි ගංගා සෙනෙවිරත්න ඊයේ කාන්තා මීටර් 200 පසුපසආර ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා.

එහි දී විනාඩි 2.26.63ක කාලයක් ගත කරමින් ඉසව්ව නිමා කළ ගංගාට හිමි වූයේ 6 වැනි ස්ථානයයි. එම දක්ෂතාව නිසා ඊළඟ වටය නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙන අතිරේක ක්‍රීඩිකාවන් අතරට පිවිසීමට ඇයට හැකි වුනා.

ඇය මෙම ඉසව්වේ දී දැක්වූ දක්ෂතාව මෙතෙක් ඇය විසින් දක්වන ලැබූ ඉහළ ම දක්ෂතාව වන අතර මීට පෙර ඇයගේ මෙම ඉසව්වේ හොඳම නිමි කළ කාලය ලෙසින් සටහන් වෙන්නේ විනාඩි 2:30.23ක්.

බර එසවීම

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ 2006 වසරේ දී කිලෝග්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම සහ 2010 වසරේ දී කිලෝග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම දිනා ගත් චින්තන විදානගේ ඊයේ සහභාගී වූයේ පිරිමි කිලෝග්‍රෑම් 81ක බර පංතියෙන්.

එහි දී ඔහු Snatch ක්‍රමය යටතේ තමන් වෙත ලැබුණ අවස්ථා 3න් පළමු අවස්ථාව මඟහැර ගත් අතර දෙවැනි අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 127ක බරක් ඔසවනු ලැබුවා. අනතුරුව තමන් වෙත ලැබුණ අවසන් අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 130ක බරක් එසවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වුනා.

Clean & Jerk ක්‍රමය යටතේ පළමු උත්සාහයේ දී ම කිලෝග්‍රෑම් 155ක් ඔසවන චින්තන දෙවැනි අවස්ථාවේ දී කිලෝග්‍රෑම් 160ක බරක් එසවීමට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැහැ. ඔහු විසින් තමන් වෙත තිබූ අවසන් අවස්ථාව මඟ හැරී ගිය අතර ඒ වන විට ඔහු ඔසවා තිබූ සම්පූර්ණ බර එකතුව කිලෝග්‍රෑම් 282ක්. ඒ අනුව එම ඉසව්වේ ඔහුට හිමි වූයේ 9 වැනි ස්ථානයයි.

ජූඩෝ

ජූඩෝ තරගවල ශ්‍රී ලංකාව සහභාගී වූ කාන්තා සහ පිරිමි ඉසව් දෙකක් ද ඊයේ පැවතියා.

ඒ අනුව ඊයේ පෙරවරුවේ මූලික වටයේ 16 දෙනාගේ වටයේ පැවති පිරිමි 60kg ඉසව්ව නියෝජනය කළ විමුක්ති ප්‍රේමරත්න ස්කොට්ලන්තයේ Dylan Munro සමඟ තරග වැදුණා. එහි දී විමුක්තිට 10-1ක් ලෙසින් ප්‍රතිවාදියා වෙතින් පරාජයට පත් වීමට සිදු වුනා.

අනතුරුව ජූඩෝ කාන්තා මූලික වටයේ 16 දෙනාගේ වටයේ 48kg ඉසව්ව නියෝජනය කළ චමිලා ඩිලානි මාරුපිල්ලගේ වේල්සයේ Anne Barnikel සමඟ තරග වැදුණා. එම තරගය නිමා වූයේ 10-0ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩිකාව ජයග්‍රහණය කරමින්.

බොක්සිං

මධ්‍යම රාත්‍රියේ දී පැවති බොක්සිං තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජීවන්ත කුමාර සහ ඉෂාන් සෙනෙවිරත්න තරග බිමට පිවිසියා.

මේ දෙදෙනා අතරින් පළමුවෙන් ම තරග බිමට පිවිසියේ 21 වැනි පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 52 බර පංතියෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් ඉෂාන් බණ්ඩාර. ඔහු flyweight ඉසව්වේ කිලෝග්‍රෑම් 48-51 බර පන්තියේ 16 දෙනාගේ තරග වටයට එක් වුනා. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ මේ වසරේ යුරෝපියන් ශූරතාවලියට එක් වූ එංගලන්තයේ Kiaran Macdonald.

නිල් පැහැති ජර්සියෙන් යුක්තව බොක්සිං වළල්ලට පිවිසි ඉෂාන් බණ්ඩාර තරගවට තුනක් දක්වා තරගය ගෙන ගිය ද, ප්‍රතිවාදියා හමුවේ එකඳු අවස්ථාවකවත් ඉදිරියට පැමිණීමට හැකි වූයේ නැහැ. තරගය අවසන් වූයේ 5-0ක පරාජයකට ඉෂාන් මුහුණ දෙමින්.

එම තරගයෙන් පැයකට පමණ පසුව ජීවන්ත කුමාර  ද තරග බිමට පිවිසියා. පසුගිය වසරේ රුසියාවේ මොස්කව් නුවර දී පැවති World Military බොක්සිං තරගාවලිය නියෝජනය කළ ජීවන්ත කුමාර Featherweight ඉසව්වේ කිලෝග්‍රෑම් 54-57 බර පංතියෙන් 16 දෙනාගේ තරග වටයට එක් වුනා. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ 2020 සීත ඔලිම්පික් උළෙල නියෝජනය කළ ගයානාවේ Kevin Allicock. එහි දී ජීවන්තටත් සිදු වූයේ ලකුණු 5-0ක පරාජයක් ලැබීමටයි.

අද (02) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව ඉසව්ව වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්)
ජූඩෝ පිරිමි 73kg 16 දෙනාගේ වටය (චාමර රෙපිලල්ලගේ) දහවල් 2:30
ජූඩෝ පිරිමි 81kg 16 දෙනාගේ වටය (රජිත පුෂ්පකුමාර) දහවල් 2:30
මලල ක්‍රීඩා පිරිමි මීටර් 100 පළමු වටය (යුපුන් අබේකෝන්) දහවල් 3:10
මලල ක්‍රීඩා කාන්තා මීටර් 800 පළමු වටය (ගයන්තිකා අබේරත්න) සවස 4:20
බොක්සිං පිරිමි Bantamweight 16 දෙනාගේ වටය (රුක්මාල් ප්‍රසන්න) සවස 4:45
බොක්සිං කාන්තා Featherweight 16 දෙනාගේ වටය (සංජීවනි කුරේ) සවස 5:00
ක්‍රිකට් ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා රාත්‍රි 10:30
බර එසවීම කාන්තා 87kg (චතුරිකා ප්‍රියන්ති) රාත්‍රි 11:00
වෙරළ වොලිබෝල් ශ්‍රී ලංකා සහ ගැම්බියා පිරිමි කණ්ඩායම් රාත්‍රි 11:30
බොක්සිං පිරිමි light middleweight 16 දෙනාගේ වටය (Niklas Vitallis) මධ්‍යම රාත්‍රි 1:00
වෙරළ වොලිබෝල් ශ්‍රී ලංකා සහ සයිප්‍රස් කාන්තා කණ්ඩායම් මධ්‍යම රාත්‍රි 1:30

 

එම තොරතුරුත් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<