යුපුන්ගෙන් ලක්මාතාවට ඉතිහාසගත පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

1439

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දෙන්නට සමත් වුනා.

අද (04) අලුයම පැවති අවසන් තරගයට සහභාගී වූ යුපුන් එම තරගය තත්පර 10.14ක කාලයකින් අවසන් කළේ තුන්වැන්නා ලෙසයි. ඒ සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් ඉතිහාසගත වුනා.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව දිනූ සිව්වැනි පදක්කම මෙය වූ අතර 1998 වසරින් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට යුපුන්ට හැකි වීම ද විශේෂත්වයක්.

යුපුන් ඉසව්වේ අවසන් පූර්ව වටය තත්පර 10.20ක කාලයකින් අවසන් කළේ සිව්වැන්නා ලෙසයි. නමුත් ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එම කාලය ප්‍රමාණවත් වූ අතර ඔහු මූලික වටයේ දී තත්පර 10.06ක කැපී පෙනෙන කාලයක් වාර්තා කරමින් පළමුවැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනා.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියන යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10ට අඩු කාලයකින් ඉසව්ව අවසන් කළ පළමු දකුණු ආසියානුවා ලෙස ද ඉතිහාසගත වුනා.

ඉතිහාසගත පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගනිමින් ලක්මාතාවට ගෞරවයක් දිනා දුන් යුපුන් අබේකෝන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<