සුමේධ සහ සාරංගිගේ පදක්කම් සිහින බොඳ වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

591

එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අවසන් ඉසව් නියෝජනය කරමින් සාරංගි සිල්වා සහ සුමේධ රණසිංහ අද (08) අලුයම තරග බිමට පිවිසියා.

කාන්තා දුර පැනීම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ සාරංගි ද සිල්වා මීටර් 6.07ක දස්කමක් වාර්තා කරමින් සිය ඉසව්ව අවසන් කළේ 13 වන්නා ලෙසයි.

දුර පැනීම අවසන් තරගයේ දී සාරංගිට පළමු අවස්ථාව සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර ඇය දෙවැනි උත්සහයේ දී මීටර් 6.00ක දුරක් වාර්තා කළා.

තරගයේ ඉදිරි අවස්ථා ලබා ගැනීම සඳහා තීරණාත්මක වූ තෙවැනි උත්සාහයේ දී ඇය මීටර් 6.07ක දුරක් වාර්තා කිරීමට සමත්වූවත්, ඉදිරියට යෑමට එම දස්කම් ප්‍රමාණවත් වුනේ නැහැ.

සාරංගි හට මෙම තරගාවලියේ දී සිය උපරිම දස්කම් අතරට පිවිසීමට නොහැකි වූ අතර කාන්තා දුර පැනීම ඉසව්වේ දකුණු ආසියානු ශූරිය වන ඇයගේ පෞද්ගලික හොඳම දස්කම දැක්වෙන්නේ මීටර් 6.65ක් ලෙසයි.

සාරංගිගේ ඉසව්වෙන් පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් මලල ක්‍රීඩකයා වූ සුමේධ රණසිංහ පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට සහභාගී වූ අතර එහි මීටර් 70.77ක දස්කමක් දැක්වූ ඔහු 10 වැන්නා ලෙස තරගය අවසන් කළා.

සුමේධ සිය පළමු උත්සහයේ දී මීටර් 69.22 සහ දෙවැනි උත්සහයේ දී මීටර් 70.77ක දුරක් වාර්තා කළ අතර තීරණාත්මක වූ තෙවැනි උත්සහයේ දී ඔහුට වාර්තා කිරීමට හැකි වුනේ මීටර් 70.45ක දුරක් පමණයි.

හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මෙම වසරේ මීටර් 82.18ක දස්කමක් දක්වමින් ලොව හොඳම දස්කම් අතර සිටි සුමේධට සිය රිද්මයට පිවිසීමට මෙම තරගාවලියේ දී හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ මලල ක්‍රීඩා ඉසව් අවසන් වූ අතර තරගාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කමක් සහ පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර කව පෙත්ත ඉසව්වෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වුනා.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි (08). අද දිනයේ තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<