කාලිංග සහ නිලානි 7 වැනි ස්ථානයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

639

එංගලන්තයේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටය සහ කාන්තා මීටර් 3000 බාධක ඉසව්වේ අවසන් තරග නියෝජනය කරමින් කාලිංග කුමාරගේ සහ නිලානි රත්නායක ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) අලුයම තරග බිමට පිවිසියා.

මූලික වටයේ සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින්ට පසුව වාර්තා වූ වේගත්වම කාලයන් දෙකට ඇතුළත් වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කාලිංග අවසන් පූර්ව වටයේ තෙවැනි තේරීම් තරගයට සහභාගී වුනා.

එම තරගයේ දී කාලිංගට බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට නොහැකි වූ අතර තත්පර 47.00ක කාලයකින් තරගය අවසන් කළ ඔහුට හිමි වුනේ හත්වැනි ස්ථානයයි.

එම කාලය අනුව ඔහුට අවසන් පූර්ව වටයේ සමස්ත ක්‍රීඩකයින් අතර 16 වැනි ස්ථානය හිමි වූ අතර ඔහුගේ එම දස්කම අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

කාලිංගගේ තරගය අවසන් වී සුළු වේලාවකට පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලානි රත්නායක තරග බිමට පිවිසියේ කාන්තා මීටර් 3000 බාධක අවසන් තරගයට සහභාගී වීමටයි.

තරගය ආරම්භයේ සිටම තරමක පසුබෑමකට ලක් වූ නිලානි හට සිය සුපුරුදු රිද්මයට පිවිසීමට අවස්ථාවක් හිමි නොවූ අතර මිනිත්තු 10:00.34ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඇයට හිමි වුනේ හත්වැනි ස්ථානයයි.

ඒ සමඟින් නිලානි සහ කාලිංගගේ පොදුරාජ්‍ය මණ්ඩලීය ගමන අවසන් වූ අතර මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාරංගි සිල්වා (07) කාන්තා දුර පැනීම අවසන් තරගයට සහ සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීම ඉසව්ව සඳහා (08) ද සහභාගී වීමට නියමිතයි.

එම තරගවල තොරතුරු ද ඇතුළුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්.  රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<