ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් පූර්ව ස්ථාන හතර තහවුරුයි

Clifford Cup 2024

320
Clifford Cup 2024 quarter finals

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (01) දිනයෙන් අවසන් වුනා. 

පිළිමළුන් පිටු දැකීමේ ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භයට පෙර ම මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලියෙන් ඉවත් වීම නිසා ඔවුන් සමඟ අර්ධ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි ලීග් ශූර CR & FC කණ්ඩායම නිතරගයෙන් ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 

එමෙන්ම මෙම සතියේ දී පැවැත්වුණ ඉතිරි තරග තුනෙන් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ පොලිස් ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 

කොළඹ ලොන්ඩන් පෙදෙසේ දී පැවැත්වුණු මෙම තරගයට දෙපිළෙන් ම ඉතා උණුසුම් සටනක් නිර්මාණය කිරීමට සමත් වුනා. 

තරගයේ ලකුණු රැස් කිරීමේ ආරම්භය පොලිසිය විසින් ලබා ගත් අතර, එහි දී Shane Hopwood විසින් ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට වඩාත් සුවිශේෂී සිදුවීමක් වුනා. 

කෙසේ වෙතත් ශේන්ගේ ඩ්‍රොප් ගෝලයට පිළිතුරු ලෙස කවීෂ කළුආරච්චි ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළා. 

ආරම්භයේ පටන් ම තරගය තියුණු මුහුණුවරක් ගන්නා බව ප්‍රේක්ෂකාගාරයට පසක් කළ පොලිසියේ ලහිරු තිලකරත්න විසින් ඉන් පසුව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් ද්විත්වය ම උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කරමින් ලකුණු 17 – 17ක් ලෙස සම මට්ටමේ රැඳුණා. 

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟම ගුවන් හමුදාව වෙනුවෙන් ගයන්ත ඉද්දමල්ගොඩ විසින් ඩ්‍රොප් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. 

නමුත් ඊට පිළිතුරු ලෙස පොලිසිය වෙනුවෙන් ශේන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර, ශෂික ප්‍රනාන්දු ගුවන් හමුදාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් නැවතත් තරගයේ වාසිය තම කණ්ඩායමට ලබා දුන්නා. 

නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ උත්සාහක දිනුමක් වාර්තා කළ මිතුන් හපුගොඩ විසින් පොලිස් ක්‍රීඩා සමාජයේ ජය තහවුරු කිරීමට සමත් වුනා. 

තරගයේ අවසන් ලකුණු තත්වය  

පොලිස් ක්‍රීඩා සමාජය 29 (4T, 3C, 1DG) – යුද හමුදා ක්‍රීඩා සමාජය 27 (3T, 3C, 1P, 1DG) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • පොලිස් ක්‍රීඩා සමාජය – ආකාශ් මදුශංක  1T, ලහිරු තිලකරත්න 1T, මිතුන් හපුගො 1T, Shane Hopwood 1T 1DG 1C, ප්‍රින්ස් චාමර 2C 
  • ගුවන් හමුදාව ක්‍රීඩා සමාජය – ශෂික ප්‍රනාන්දු 1T, කවීෂ කළුආරච්චි 1T, උදේශ් මදුශංක 1T, ගයන්ත ඉද්දමල්ගොඩ 2C 1DG, ප්‍රමෝත් පත්මසංක 1C 

හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය 

ලීග් තරගාවලියේ දී එකඳු ජයක් හෝ ලබා ගැනීමට නොහැකි වූ නාවිකයින් මෙවර ද අන්ත අසරණ තත්වයට ඇද දැමූ හැව්ලොක් ක්‍රීඩකයින් විසින් මෙම තරගයෙන් ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ හැව්ලොක් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් පහක් වාර්තා කිරීමට සමත් වූ අතර, නාවික හමුදාවෙන් ඊට ප්‍රතිචාර ලෙස එක් උත්සාහක දිනුමක් පමණයි වාර්තා වුනේ.

නමුත් නාවිකයින්ට දෙවන අර්ධයේ දී පළමු අර්ධය තරම් හෝ සාර්ථක වීමට හැව්ලොක් ක්‍රීඩකයින් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. 

දෙවන අර්ධය තුළ හැව්ලොක් කණ්ඩායම තවත් උත්සාහක දිනුම් හතරක් සාර්ථක කර ගැනීමට සමත් වූ නමුත්, නාවික හමුදාවෙන් එකඳු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ. 

තරගයේ අවසන් ලකුණු තත්වය: 

හැව්ලොක් ක්‍රීඩා සමාජය 55 (9T, 5C) – නාවික හමුදා ක්‍රීඩා සමාජය 05 (1T) 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්: 

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – දිනූප සෙනෙවිරත්න, Oliver Buckle, Azmir Fajudeen, ජයතු රාජරත්න, උදාර ජයපාල, Mohamed Rifan, ගනිඳු ලක්ෂාන්, සෙනාල් දීලක සිල්වා, රවීන් ප්‍රනාන්දු – එක් උත්සාහක දිනුම බැගින් 
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය –  Stephan Gregory 1T 

CH & FC ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය 

කොළඹ ලොන්ඩන් පෙදෙසේ දී ඊයේ (01) පැවැත්වුණු මෙම තරගයේ දී ද දෙපිළම කරට කර තරග වදින බව දක්නට ලැබුණා. 

තරගයේ පළමු උත්සාහක දිනුම් දෙකම CH ක්‍රීඩකයින් විසින් වාර්තා කිරීමට සමත් වුනත්, යුද හමුදාව ද උත්සාහක දිනුම් දෙකක් සමඟින් CH අබිබවා යාමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වන විට තවත් උත්සාහක දිනුමත් සමඟ තරගයේ පෙරමුණට පැමිණීමට CH ක්‍රීඩකයින් සමත් වී සිටියා. 

දෙවන අර්ධය ආරම්භ වන විට ලකුණු 15 – 12ක් ලෙස CH ක්‍රීඩකයින් පෙරමුණේ රැඳුනත්, පසුව තරගයේ සම්පූර්ණ වාසිය තමන් සතු කර ගත් යුද හමුදාව තවත් උත්සාහක දිනුම් දෙකක් සමඟින් සිය ලකුණු තත්වය 22ක් කරා රැගෙන ගියා. 

කෙසේ වෙතත් තරගයේ අවසන් කොටසේ දී නැවත තරගයේ ස්වභාවය වෙනස් කිරීමට සමත් වූ CH ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව නිසා තරගයෙන් අවාසනාවන්ත පරාජයක් උරුම කර ගැනීමට යුද හමුදාවට සිදු වුනා. 

තරගයේ අවසන් ලකුණු තත්වය: 

CH & FC ක්‍රීඩා සමාජය 35 (6T, 1C, 1P) – යුද හමුදා ක්‍රීඩා සමාජය 27 (4T, 2C, 1P) 

  • CH & FC තීක්ෂණ දසනායක 1T, ප්‍රසාද් මදුශංක 2T, ගිහාන් මදුශංක 1T, දිනේෂ් ද සිල්වා 1T, හිරුෂ නෙත්මින 1T, 1C 
  • යුද හමුදාව – ලසන්ත කුමාර 1T, සුදාරක දික්කුඹුර 1T, ලහිරු රත්නායක 2T, , අශාන් බණ්ඩාර 2C, 1P 

මේ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ල එසේ අවසන් වුනා. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිත ආකාරය මෙසේයි; 

  • මාර්තු 05 – CR & FC සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර 
  • මාර්තු 06 – හැව්ලොක් සහ CH & FC අතර 

තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<