දක්ෂතම ක්‍රීඩකයා ශෙහාන්; ක්‍රීඩිකාව තක්ෂිලා

549

2017 වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් සහ ඩේවිඩ් පීරිස් ක්‍රීඩකයින්, චැම්පියන්ස් ලීග් කාණ්ඩයේ ශූරතා ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, සුපර් ලීග් කාණ්ඩයේ ශූරතා ජයග්‍රහණය කිරීමට MAS කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් සහ MAS ඇක්ටිව් ක්‍රීඩකයින් සමත් විය.

තරගාවලියේ අවසන් මහා තරග අද (17) මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවැත්විය.

ප්‍රොස්පරස් කැපිටල් සිය ප්‍රථම වොලිබෝල් ශූරතාවය ජය ගනී

වෙළඳසේවා “A” කාණ්ඩයේ කාන්තා සහ පිරිමි වොලිබෝල් ශූරතා තරග අද (16) පැවැත්වුණේ මහරගම යොවුන් සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දීයි..

චැම්පියන්ස් ලීග් – කාන්තා අවසන් තරගය

ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය හා බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් (අවිස්සාවේල්ල) කණ්ඩායම අතර මෙහි අවසන් මහා තරගය පැවැත්විය.

මෙය වට 3–0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය සමත් විය.

මෙහි පළමු වටය ලකුණු 25–15ක් ලෙස අවසන් විය. දෙවන වටය තුල බ්‍රැන්ඩික්ස් කණ්ඩායම ද තම ප්‍රතිවාදීන්ට සැලකිය යුතු අභියෝගයක් ලබා දුන්න ද, එහි ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ලකුණු 25–19ක් ලෙස දෙවන වටය අවසන් විය. තෙවන වටය ලකුණු 25–14ක් ලෙස අවසන් වූයේ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජයට එහි ශූරතාවය හිමි කර දෙමිනි.

එහි තෙවන ස්ථානය MAS ලීනියා ක්ලෝදින් කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදි.


චැම්පියන්ස් ලීග් – පිරිමි අවසන් තරගය

25–19ක්, 27 – 29ක්, 25–20ක් හා 25–16ක් ලෙස අවසන් වූ මෙම තරග ඉසව්ව කාගේත් සිත්ගත් තරගය බවට පත්විය. මෙම තරගයේ ජයග්‍රහණය ඩේවිඩ් පීරිස් ආයතනයට හිමිවෙද්දී, පරාජය වූ ක්‍රිස්ටල් මාර්ටින් (කටුනායක) කණ්ඩායම එහි දෙවන ස්ථානය ජයග්‍රහණය කළේය.

පළමු වට දෙක දෙපිලටම සම සමව ජයග්‍රහණ ලබා දෙමින් අවසන් වුවද, අවසන් වට දෙක තුල තම ප්‍රහාරය වැඩි කළ ඩේවිඩ් පීරිස් කණ්ඩායම තරග වට 3–1ක් ලෙස තරගය ජයග්‍රහණය කරන ලදි. මෙහි තෙවන ස්ථානය බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් (කටුනායක) කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදි.


සුපර් ලීග් – කාන්තා අවසන් තරගය

මෙම තරගය සඳහා MAS කැෂුවල් ලයින් හා බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායම් සහභාගී විය.

තරගයේ පළමු වටයේ සිටම බ්‍රැන්ඩික්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දීමට MAS කැෂුවල් ලයින් කණ්ඩායම සමත් විය. එහි පළමු වටය ලකුණු 25–08ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට MAS  කැෂුවල් ලයින් කණ්ඩායමට හැකි විය.

දෙවන වටය තුල දී MAS කැෂුවල් ලයින් කණ්ඩායම තම උපක්‍රම යම් තරමක් වෙනස් කරමින් ක්‍රීඩා කළ අතර, එහි ප්‍රතිඵලය වූයේ ලකුණු 25–07කි.

තක්ෂිලා මදුරංගි MAS කැෂුවල් ලයින් කණ්ඩායම් නායිකාව ලෙස තම උපරිම දස්කම් තරගය තුල ප්‍රදර්ශනය කළාය.

තක්ෂිලා ඇතුළු ක්‍රීඩිකාවන් තෙවන වටය තුල දී ද තම ප්‍රහාරය නොඅඩුව දියත් කළත්, බ්‍රැන්ඩික්ස් කණ්ඩායම පෙර තරග වටවල දී තිබූ දුර්වලතා තරමක් මඟ හරවා ගෙන ක්‍රීඩා කළ ද, 25–10ක් ලෙස තරගයේ අවසන් ප්‍රතිඵලය සටහන් වූයේ, වට 3-0ක් ලෙස MAS ක්‍රීඩිකාවන් ජයග්‍රහණය වාර්තා කරමිනි.

තරගයෙන් පසුව MAS කැෂුවල් ලයින් කණ්ඩායමේ පුහුණුකරු ආනන්ද වන්නිතිලක මහතා ThePapare.com සමඟින් මෙසේ අදහස් දැක්විය,

“අපේ කණ්ඩායම තරගාවලියේ මූලික වටවල සිටම ඉතාමත් ජවසම්පන්නව තරගවලට මුහුණ දෙමින් මෙම අවසන් තරගයට පැමිණියා, මෙම තරගාවලිය සාර්ථක ලෙස ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමට අපට පුළුවන් වුනා. මේ වගේ තරගාවලි සංවිධානය කිරීම අපේ ජාතික ක්‍රීඩාවට කරන ලොකු සේවයක්.”

“මම ලොකු කැපවීමක් කරලා තමා මෙතනට ආවේ. ඒ් ගැන මම අවංකවම සතුටු වෙනවා. අපට ආයතන මට්ටමින් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ සඳහා මා ස්තුතිවන්ත වෙනවා. එ් වගේම මට මේ තැනට එන්න උදව් කළ නාලක සර්, සුමේධ සර් වගේම ආනන්ද සර්ටත් මම මාගේ අවංක ස්තුතිය පුදකරනවා.”

යැයි කණ්ඩායම් නායිකාව වන තක්ෂිලා මදුරංගි ThePapare.com සමඟින් පැවසීය.

බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් (සීදුව) මෙහි තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි.


සුපර් ලීග් – පිරිමි අවසන් තරගය

MAS ඇක්ටිව් ලෙශර්ලයින් කණ්ඩායම හා ටීජේ ලංකා කණ්ඩායම අතර අවසන් තරගය පැවැත්විය. MAS ඇක්ටිව් ලෙශර්ලයින් කණ්ඩායම මෙම කාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කළේ තරගකාරී වට හතරකට පසුවයි.

මෙහි පළමු වටය ලකුණු 25–23ක් ලෙස ජයග්‍රහණය කිරීමට MAS කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් විසින් එල්ල කළ ප්‍රහාරාත්මක පහරවල් හමුවේ ටීජේ කණ්ඩායම නිරුත්තර විය.

දෙවන වටය ද ලකුණු 25–21ක් ලෙස ජයග්‍රහණය කළ MAS කණ්ඩායමට, තෙවන වටය නම් එතරම් පහසු නොවීය. එම වටයේ දී ටීජේ ලංකා පිළ තම සැලසුම් වෙනස් කරමින් ක්‍රීඩා කරමින් ලකුණු 20–25ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේය. අවසන් වටය 25–19ක් ලෙස ජයග්‍රහණය කළ MAS කණ්ඩායම වට 3–1ක් ලෙස එහි ශූරතාවය ජයග්‍රහණය කළේය.

මෙහි තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලද්දේ කෝටල්ඩ්ස් කෝලෝතින් විසිනි.

ජයග්‍රහණයේ උණුසුම සමඟින් අප වෙත අදහස් දැක්වූ MAS කණ්ඩායමේ නායක සමින් විජේසූන්දර,

“අපේ ආයතනය හා අපේ කණ්ඩායමේ පුහුණුකරු ඇතුළු සියලුම ක්‍රීඩකයින් මෙවන් තත්ත්වයකට අපව ගෙන ඒමට ලොකු කැප කිරීමක් කළා, අනිල් සර්, චන්දන සර්, මහේෂ් සර් ඇතුළු ආයතනයේ ඉහළ නිලධාරින් මෙන්ම ආයතනයේ සාමාජිකයන් හට ද මෙහි දී මම ස්තුතිය පුදකරනවා. “

සම්මාන ප්‍රදානෝත්සවය – කාන්තා

A කාණ්ඩය

  • හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව- සඳුනි කාවින්ද්‍යා ජයසිංහ (ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නිය- තිලිණි මදුශානිකා (ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ක්‍රීඩිකාව පියුමි මහේෂිකා (ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය)

චැම්පියන්ස් ලීග්

  • හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව – ප්‍රතිභා මහේශානි (ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නිය – දුලානි ජයසිංහ (ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ක්‍රීඩිකාව ප්‍රබෝදා සෙනවිරත්න (ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය)

සුපර් ලීග්

  • හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව – අනුරිශා චතුනි (MAS හෝල්ඩින්ග්ස් කැෂුවල් ලයින්)
  • හොඳම පන්දු සැකසුම – නිසංකා සඳමාලි (MAS හෝල්ඩින්ග්ස් කැෂුවල් ලයින්)
  • දක්ෂතම ක්‍රීඩිකාව – තක්ෂිලා මදුරංගි (MAS හෝල්ඩින්ග්ස් කැෂුවල් ලයින්)

සම්මාන ප්‍රදානෝත්සවය – පිරිමි

 A කාණ්ඩය

  • හොඳම ප්‍රහාරක ක්‍රීඩකයා – එන්. එම් .එම් ඉශාන් (ප්‍රොස්පරස් කැපිටල්)
  • හොඳම පන්දු සකසන්නා – කේ. ශිවශන්ත (ප්‍රොස්පරස් කැපිටල්)
  • දක්ෂතම ක්‍රීඩකයා – එම්. එන්. ඉන්ෆාස් ( ප්‍රොස්පරස් කැපිටල්)

චැම්පියන්ස් ලීග්

  • හොඳම ප්‍රහාරක ක්‍රීඩකයා – තරිඳු රවිරාජ් (ක්‍රිස්ටල් මාර්ටින්)
  • හොඳම පන්දු සකසන්නා – නලින්ද කුමාර (ඩේවිඩ් පීරිස්)
  • දක්ෂතම ක්‍රීඩකයා – කලිදු මිහිරුක් (ඩේවිඩ් පීරිස්)

සුපර් ලීග්

  • හොඳම ප්‍රහාරක ක්‍රීඩකයා – රෙහාන් මදුසංක (ටීජේ ලංකා)
  • හොඳම පන්දු සකසන්නා – සමින්ද නිශාන්ත (MAS ඇක්ටිව් ලෙශර්ලයින්)
  • හොඳම ආරක්ෂක ක්‍රීඩකයා – ශ්‍රී ලාල් මුණසිංහ (MAS ඇක්ටිව් ලෙශර්ලයින්)
  • දක්ෂතම ක්‍රීඩකයා – ශෙහාන් ලක්ෂිත (MAS ඇක්ටිව් ලෙශර්ලයින්)

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට