කණ්ඩායම් 22ක් තරග බිමට – ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය

174

ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම 10 වැනි වරටත් අනුග්‍රහය දක්වන “ඩයලොග් චැම්පියන්ස් ලීග්” පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් ජූලි 25 වැනිදා පස්වරු 7.00ට කලම්බු එෆ්.සී. පිල හා බ්ලූස්ටාර් පිල කොළඹ තුරඟ තරග පිටියේදී මුණගැසෙති.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 22ක් සහභාගි වෙයි. කණ්ඩායම් 11 බැගින් මූලික වටයේදී තරග පවත්වනු ලබන්නේ කාණ්ඩ දෙකකිනි.
දෙවැනි වටයේදී කාණ්ඩ දෙකේම මූලස්ථාන හතර හිමි කරගත් කණ්ඩායම් 8 සුපිරි 8 වටයේදී එකිනෙකා තරග කරන අතර එහිදී ඉහළම ප්‍රසාද ලකුණු රැස් කරන ලද කණ්ඩායමට ශුරතාව පිරිනැමේ.

මේ අනුව 2015 වසරේ පැවැත්වෙන ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියට තරග 140ක් ඇතුළත්ය.
මෙම තරගාවලියට පළමුවරට එක්වන කණ්ඩායම් බවට පත්ව ඇත්තේ රත්නපුර හයිලැන්ඩර්ස් හා තිහාරිය යූත් යන කණ්ඩායම්ය. ශුරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 10ක් සමඟ ඩයලොග් පාපන්දු කුසලානය හිමිවන අතර අනුශුරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 5ක මුදලක් හිමිවේ.

පසුගිය වසරේ ඩයලොග් චැම්පියන්ස් ලීග් ශුරතාව දිනාගනු ලැබුවේ අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය විසිනි. මෙම තරගාවලි පිළිබඳව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ඩයලොග් ආසියාටා සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරීනී අමලි නානායක්කාර මහත්මිය ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව සමඟ හවුල් වීමට මෙම තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වීමෙන් ඩයලොග් සමාගමට අවස්ථාව උදාවීම සතුටට කරුණක් ලෙස සඳහන් කළාය.