18න් පහළ තරගාවලිය සැප්තැම්බර් මාසයේ

262
Joes v Bens to kick-off U18 Division I Championship

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලබන 2017 වසර සඳහා වන වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 04 වන දින සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එහි දී පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනාගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තරග බිමට පිවිසීමට නියමිතය.

ආසියානු පාසල් පාපන්දු ශූරතාවයට 22ක්

ඉදිරියේ දී ඉරානයේ ශිරාස් නුවර දී ආරම්භ වීමට නියමිත “45 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ පාසල් පාපන්දු ශූරතාවලිය” සඳහා විසි …

පසුගිය වසරේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව සිරි කුරුස විද්‍යාලය ගෝල 2-1ක් ලෙස පරාජයට පත්කරමින් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර ඔවුන් එහි දී ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ වසර 21කින් අනතුරුවයි. හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කළ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙවර සාන්ත ජෝසප් විද්‍යාලය තරගාවලිය ආරම්භ කරන්නේ කුසලානයක් සඳහා පැවැත්වෙන තරගයක් සමඟයි. ඒ ගරු පීටර් පිල්ලේ පියතුමන්ගේ අනුස්මරණ කුසලානය සඳහා වන අතර තරගය ප.ව. 4ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් එක්වන අතර ඔවුන් එක් කාණ්ඩයකට කණ්ඩායම් 07 බැගින් කාණ්ඩ 02කට බෙදා වෙන්කොට ඇත. පසුගිය වසරේ පළමු කාණ්ඩයේ ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය මෙවර දෙවන කාණ්ඩය දක්වා පසුබැස ඇති අතර ත්‍රිකුණාමලය කින්නියා මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය මෙවර දෙවන කාණ්ඩයේ සිට පළමු කාණ්ඩය දක්වා උසස් කර ඇත. පසුගිය වසරේ පැවති දෙවන කාණ්ඩයේ අවසන් මහා තරගයේ දී සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරන්නට කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර එහි දී 3 වන ස්ථානය දිනාගනු ලැබුවේ කඳාන ද මැසිනෝද් විද්‍යාලය යි.

ඒ අනුව මෙවර A කාණ්ඩය යටතේ තරග වදින කණ්ඩායම් වන්නේ සාන්ත ජෝසප් විද්‍යාලය, මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, වික්‍රමබාහු විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කින්නියා මහා විද්‍යාලය යි.

හමීඩ් අල් හුසේනි විද්‍යාලය, සිරි කුරුස විද්‍යාලය, සහිරා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය සහ සාන්ත පැට්‍රික් විද්‍යාලය තරගාවලිය සඳහා එක් වන්නේ B කාණ්ඩයෙනි.

තරගාවලියේ පළමු වටයේ තරග පැවැත්වෙන්නේ ලීග් ක්‍රමයටයි. ඒ අනුව එක් කණ්ඩායමකට තම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් 6 සමඟම තරග වැදීමට සිදුවේ. පසුගිය වසරේ තරගාවලියේ දී එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබුවත් මෙවර එය වෙනස් කර ඇත. ඒ අනුව මෙවර එක් කාණ්ඩයකින් කණ්ඩායම් 4 බැගින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට