යුපුන් Diamond League අවසන් තරගයට

Zurich Diamond Leauge 2022

1745

මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් අදියර වන Zurich Diamond ලීග් තරගාවලියේ පිරිමි මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකිව තිබෙනවා.

යුපුන් මෙලෙස ඩයමන්ඩ් ලීග් තරගාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත්තේ නොකඩවා දෙවැනි වරට වන අතර මීට පෙර ඔහු පසුගිය වසරේ පැවති Zurich Diamond ලීග් තරගාවලියේ ද මීටර් 100 අවසන් තරගය නියෝජනය කළා.

ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රමුඛතම ක්‍රීඩා සැණකෙළියක් වන Diamond ලීග් තරගාවලියේ අදාළ තරග වාරයේ දී දක්වන දස්කම්වලට හිමිවන ප්‍රසාද ලකුණු මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වාරයේ අවසන් තරගය වන Zurich Diamond ලීග් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

යුපුන් මෙවර Diamond ලීග් තරග වාරයේ දී තරගාවලි ද්විත්වයකට සහභාගී වූ අතර ඕස්ලෝ තරගාවලියේ දී ප්‍රසාද ලකුණු 4ක් සහ ස්ටොක්හෝම් තරගාවලියේ දී ප්‍රසාද ලකුණු 5ක් ලබා ගත්තා.

ඒ අනුව තරග වාරය අවසානයේ දී සමස්ත ප්‍රසාද ලකුණු 09ක් ලබා ගනිමින් මීටර් 100 ඉසව්වේ 8 වැනි තැන රැඳී සිටිමින් Zurich Diamond මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට යුපුන්ට හැකි වුනා.

ප්‍රසාද ලකුණු සටහන

එම අවසන් තරගය සඳහා Yohan Blake, Akani Simbine, Andre de Grasse, Reece Prescod සහ Trayvon Bromell වැනි මීටර් 100 පිටියේ මෑත කාලයේ ඉහළ දස්කම් දක්වන ප්‍රබල ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතයි.

Zurich Diamond ලීග් තරගාවලිය මෙම මස 08 වැනිදා පැවැත්වීමට නියමිත අතර යුපුන් අබේකෝන් මීටර් 100 අවසන් තරගය සඳහා එදින අලුයම් කාලයේ දී සහභාගී වීමට නියමිතයි.

 තරග ආරම්භක ක්‍රීඩක ලැයිස්තුව

මීටර් 100 ඉසව්වේ මෑත කාලයේ දී ඉහළ දස්කම් දැක්වූ යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර ඔහු නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මෙම තරගය සමඟින් යුපුන්ගේ අති සාර්ථක 2022 තරග වාරය අවසන් වන අතර එම සුවිශේෂී තරගයේ දී ඉහළ දස්කම් දැක්වීමට යුපුන් අබේකෝන්ට හැකි වේවා යැයි ThePapare.com පතන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<