වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව අභිෂේක ලබයි

126

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන World Athletics Awards සම්මාන උළෙලේ මෙම වසරේ උත්සවය ඊයේ (05) දුරස්ථ තාක්ෂණය (වීඩියෝ) උපයෝගී කරගනිමින් පැවැත්විය.

ඒ අනුව එම සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩකයා ලෙස ස්වීඩන් ජාතික රිටි පැනීමේ ශූර Mondo Duplantis සම්මානයට පාත්‍ර වූ අතර වසරේ ක්‍රීඩිකාවට හිමි සම්මානය තුන්පිම්ම ඉසව්වෙන් දස්කම් දැක්වූ වෙනිසියුලා ක්‍රීඩිකා Yulimar Rojas විසින් දිනා ගැනීමට සමත් විය.

පසුගිය මාසයේ දී සිය 21 වැනි ජන්ම දිනය සැමරූ Mondo Duplantis මෙම සම්මානය දිනා ගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වූ අතර ඔහු 2018 වසරේ දී නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත්ව තිබුණි.

මෙම වසර තුළ දී (2020) රිටි පැනීමේ ඉසව්වෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ Mondo Duplantis ගෘහස්ථ තරගයන්හීදී මීටර් 6.17ක සහ 6.18ක දස්කම් දක්වමින් රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර පසුව එළිමහන් තරග පිටියේ දී මීටර් 6.25ක දස්කමක් දක්වමින් රිටි පැනීම ඉසව්වේ එළිමහන් ලෝක වාර්තාව ද බිඳ හෙළීමට ඔහු සමත් විය.

එම දස්කම් නිසාවෙන් වසරේ ක්‍රීඩකයා සම්මානය හිමි කර ගැනීමට ලැබීමෙන් පසු අදහස් දැක්වූ Mondo Duplantis ප්‍රකාශ කර සිටියේ මෙම කාලසීමාව සෑම කෙනෙකුගේම කටයුතු වෙනස් වූ කාල සීමාවක් වූ නමුත් තමන් එය කළමනාකරණය කරමින් කටයුතු කළ නිසාවෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බවයි.

“මට අවශ්‍ය වුනේ ලෝකය ඉදිරියට ගිහින් මට කළ හැකි දේවල් ලෝකයටම පෙන්වන්නයි, විශාල දස්කම් කිහිපයකින් මගේ නම ලෝකය ඉදිරියට ගේන්නයි. මට එය ඉතාමත්ම හොඳින් කරන්න පුළුවන් වුනා, විශේෂයෙන්ම ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී.

මිනිස්සු මම ක්‍රීඩාවේ ඉදිරිය කියලා කියද්දී මම හිතන්නේ එයින් මට හොඳ හැඟීමක් එනවා කියලා, නමුත් එය මගේ දෙයක්වත් මා සතුව තිබ්බ දෙයක්වත් නෙවෙයි. මම තරගයට ගිහින් උත්සහ කළා, මම ගොඩක් උසට පනින්න උත්සහ කළා, මම ලෝක වාර්තා බිඳ හෙළන්න උත්සහ කළා, මම තවමත් තවදුරටත් දියුණු වෙන්න උත්සහ කරනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

වසරේ ක්‍රීඩිකාව ලෙස කිරුළ දිනා ගත් Yulimar Rojas හට මෙම වසර තුළ දී බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන් දස්කම් දැක්වීමට විශාල අවස්ථාවක් හිමි නොවුනු නමුත් සහභාගි වූ තරග සියල්ලේම ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඇය තුන් පිම්ම ඉසව්වේ මීටර් 15.43ක දස්කමක් දක්වමින් තුන් පිම්ම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

එමෙන්ම 2017 වසරේ දී ලෝක නැගී එන ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට සමත්ව තිබූ Yulimar Rojas මෙම සම්මානය දිනා ගැනීමෙන් පසුව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන් ඇත්තෙන්ම මෙය බලාපොරොත්තු නොවූ බවත්, එය ඇත්ත වශයෙන්ම අදහාගත නොහැකි බවයි.

“මේ ජයග්‍රහණය විශාල දෙයක් මට වගේම මාත් එක්ක දිනපතා වැඩ කරපු, මට ශක්තිය සහ වචනෙකින් හෝ ධෛර්යයක් ලබා දුන් සියලූම දෙනාට. මෙම වසරේ ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට හැකි වීම 2021 වසරේ ක්‍රීඩා කටයුතු සඳහා ආශ්වාදයක් ලැබෙනවා. එය ඉතාමත් හොඳ වසරක් වෙයි, මට ගොඩක් බලාපොරොත්තු තියෙනවා ඒ අවුරුද්ද ගැන.

මට අවශ්‍යයි මට 2020 වසරේ ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට වචනයකින් හරි උදව් කළ සියලූම දෙනාට මගේ ස්තුතිය පිරිනමන්න, බොහොම ස්තුතියි මාව වසරේ ක්‍රීඩිකාව බවට පත් කරමින් මෙම ක්‍රීඩාවේ ඉතිහාසගත වීමට උපකාර කිරීම ගැන. මගේ සිහිනය යථාර්ථයක් වීම් පිළිබඳව මේ සම්මානය සාක්ෂි දරයි” යැයි ඇයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසර තුළ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නිසි පරිදි දස්කම් දැක්වීමට අවස්ථාවක් හිමි නොවූ නමුත් සීමිත තරගාවලි කිහිපයක දී ඔවුන් දැක්වූ දස්කම් මත තෝරාගත් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් දසදෙනෙකු අතුරින් මෙවර වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීමට කටයුතු සිදු කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<