බස්නාහිර – උතුර සම වෙද්දී දකුණු – නැගෙනහිර ගෝල රහිතව අවසන්

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

184
Ceylon Province Football Championship

නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ සබරගමුව අදියරේ තරග ආරම්භ කරමින් අද (18) පැවති තරගවල දී ජයග්‍රහණය වාර්තා කරන්නට කිසිදු කණ්ඩායමක් සමත් වුනේ නැහැ.

කෑගල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවති දකුණ සහ නැගෙනහිර අතර තරගය නිමාවට පත්වුනේ කිසිදු ගෝලයක් වාර්තා නොවෙමිනුයි.

දිනයේ පැවති දෙවැනි තරගය වූ බස්නාහිර සහ උතුරු පළාත් අතර තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම ලකුණු තත්වයේ පසුවෙමිනුයි.

රත්නපුර සීවලි විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් ගෝලයක් වාර්තා කළේ බස්නාහිර පළාත් ක්‍රීඩකයින් විසිනුයි. 10 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයට හිමිකම් කීවේ චලන ප්‍රේමන්ත විසිනුයි. කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙසයි.

දෙවැනි අර්ධය ආරම්භ වී කරට කර සටනක් දෙපිලෙන්ම දැක ගන්නට හැකි වූ අතර බස්නාහිර පළාත තරග ජය ගන්නා බවක් තරගය අවසන් වන තෙක්ම දක්නට ලැබුණා.

නමුත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පැමිණි උතුරේ ක්‍රීඩක වී. ගීතාන් 80 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කරන්නට සමත් වුනා.

එම ගෝලයෙන් පසුව තරගයේ තීරණාත්මක ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අපොහොසත් වූ අතර තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස ලකුණු පුවරුව දැක්වෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: බස්නාහිර පළාත 1 – 1 උතුරු පළාත

ගෝල ලාභීන්:

  • බස්නාහිර: චලන ප්‍රේමන්ත (10’)
  • උතුර: වී. ගීතාන් (80’)

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<