ශ්‍රී ලංකාව ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ C කාණ්ඩයට

350

2023 AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත අවසාන තේරීම් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩවලට බෙදා වෙන් කිරීම අද (25) සිදු කෙරුණා.

කණ්ඩායම් 24ක් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර තරගාවලිය මැලේසියාව, ඉන්දියාව, කුවේට්, උස්බෙකිස්තානය, කිර්ගිස්තානය සහ මොංගෝලියාව යන රටවල් 6 සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.

කාණ්ඩවලට බෙදා වෙන්කිරීමේ දී ශ්‍රී ලංකාව C කාණ්ඩයට තේරී පත්වූ අතර එම කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, තායිලන්තය සහ සත්කාරක උස්බෙකිස්තාන කණ්ඩායම් ඇතුළත්.

මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ එක් එක් කාණ්ඩයෙන් පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් 6 සහ දෙවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 6න් හොඳම කණ්ඩායම් 5 2023 ආසියානු කුසලානය සඳහා තෝරාගනු ලබනවා.

2023 ආසියානු කුසලානය චීනයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා මේ වන විට ඕස්ට්‍රේලියාව, ඉරානය, ඉරාකය, ජපානය, දකුණු කොරියාව, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් සහ වියට්නාමය සුදුසුකම් ලබා අවසන්.

මෙම තරගාවලිය මෙම වසරේ ජුනි 08, 11 සහ 14 යන දිනවල දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ තොරතුරු සියල්ල දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<