සුමින්ද ලක්ෂාන් යාපනය ක්‍රීඩකයන්ව අමාරුවේ දමයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1008

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් අද (17) පැවති තරගවල දී යාපනය කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වීමට ගාලු කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් සමත් වුනා.

මේ අතර දිනයේ වැඩිම ලකුණු ලාභියා වීමට මහනුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු සමත් වුනා. ඔහු විසින් ලකුණු 74ක් රැස්කර ගන්නා විට, කමිල් මිෂාර සහ කමිඳු මෙන්ඩිස් ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

සවස් යාමයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, මෙම තරග දෙකේ දී ම ආරම්භක දිනයේ දී යැවීමට හැකි වූයේ පන්දුවාර 77ක් බැගින් පමණක් වීම කැපී පෙනුණා.

ගාල්ල සහ යාපනය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 218ක් වාර්තා කරගෙන සිටියා.

යාපනය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නිශාන් මධුශ්ක සහ නවොද් පරණවිතාන පළමු කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් එක් කළා. නිශාන් මධුශ්ක පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් රැස්කර ගෙන සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දැවී ගියා.

අනතුරුව ඉනිමට තවත් ලකුණු 26ක් එක් වන විට නවෝද් ද ඉනිම හැර ගිය අතර ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් වාර්තා කරගෙන සිටියා.

එතැන් සිට අඩපණ වූ යාපනය ඉනිමට සංතුශ් ගුණතිලක පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් සහ සමින්ද ප්‍රනාන්දු පන්දු 53කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද රැස්කර ගනිමින් දායකත්වය දැක්වූවා.

දිනයේ දැවී ගිය අවසන් කඩුලු 4 ලකුණු 38ක් තුළ දවා ගැනීමට ගාලු ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙනුණා. එම කඩුලු 4 හිමිකාරිත්වය පා දඟපන්දු යවන සුමින්ද ලක්ෂාන් සතු වුනා. ඔහු දිනය අවසන් වන විට පන්දුවාර 6ක් යවමින් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා.

ඊට අමතරව ඩිල්ශාන් මධුශංක සහ චලන ද සිල්වා කඩුලු 2 බැගින් ද, මොහොමඩ් ශිරාස් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

යාපනය කණ්ඩායම – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට) කඩුලු 9ක් දැවී 218 (77): නිශාන් මධුශ්ක 29, නවෝද් පරණවිතාන 34, සමින්ද ප්‍රනාන්දු 27, සංතුශ් ගුණතිලක 28, ඩිල්ශාන් මධුශංක 2/42, චලන ද සිල්වා 2/72, සුමින්ද ලක්ෂාන් 4/17.

මහනුවර සහ දඹුල්ල

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 58ක්. පළමු කඩුල්ල ලෙසින් ලසිත් කෲස්පුල්ලේ පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා.

අනතුරව කමිල් මිෂාර සමඟ එක් වූ ඕෂද ප්‍රනාන්දු දෙවැනි කඩුල්ලට අගනා ලකුණු 147ක සබඳතාවක් එක් කළා. කමිල් මිෂාර දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 74ක් වාර්තා කරගෙන සිටිය දීයි.

අනතුරුව නැවත වතාවක් ශතක සබඳතාවක් එක් කිරීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙනුණා. එවර පෙරමුණ ගත්තේ ඕෂද සහ නායක කමිඳු මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක සබඳතාවක් එක් කළා.

ඕෂද ශතකය ආසන්නයට ම පිවිස තම කඩුල්ල අහිමි කර ගත්තා. දැවී යන විට ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 97ක් රැස් කරගෙන සිටියා.

මහනුවර පළමු ඉනිමේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 297ක් වාර්තා කරගෙන සිටි අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට කමිඳු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 51ක් සහ ලහිරු උදාර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද වාර්තා කරගෙන සිටියා.

ඉනිමේ දැවී ගිය කඩුලු 3න් 2ක් මාලින්ද පුෂ්පකුමාර සතු වූ අතර අනෙක් කඩුල්ල පවන්ත වීරසිංහ සතු වුනා.

මහනුවර කණ්ඩායම – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට) කඩුලු 3ක් දැවී 297 (77): කමිල් මිෂාර 74, ලසිත් කෲස්පුල්ලේ 43, ඕෂද ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් නොදැවී 51, ලහිරු උදාර නොදැවී 22, මාලින්ද පුෂ්පකුමාර 2/80.

මෙම තරග දෙකම හෙට (18) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<