දකුණ පරදවා සබරගමුව පළමු කඩඉම ජය ගනී

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

201

අද (25) ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා වූ නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අවසන් පූර්ව තරග වටයේ ප්‍රථම අර්ධයේ පළමු තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කරන්නට දකුණේ ක්‍රීඩකයින් පරාජය කළ සබරගමුව ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරග දෙකක් සමව අවසන් කරමින් සහ ජයග්‍රහණය 5ක් සමඟ ප්‍රසාද ලකුණු 17ක් ලබා ගනිමින් සබරගමුව ක්‍රීඩකයින් අද තරගයට සුදුසුකම් ලබා ගත්තා. කණ්ඩායම් නායක මොහොමඩ් ශිෆාන් ගෝල 3ක් සමඟින් ද, මොහොමඩ් මුෂ්ෆික් ගෝල 5ක් ද මේ වන විට වාර්තා කරමින් සබරගමුව ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටිනවා.

දකුණු පළාත ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය ලබා ගනිමින් අද පැවති තරගයට සුදුසුකම් ලබා ගත් අතර තරග 3ක් ජයග්‍රහණය කරමින්, තරග 2ක් පරාජය වෙමින් සහ තවත් තරග 2ක් ජය පරාජයකින් තෝරව අවසන් වෙමින් ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 11ක්. ඔවුන් සතුව සිටින ප්‍රධාන තුරුම්පුව වන්නේ සුපුන් ධනංජයයි. ඔහු මේ වන විට ලබා ගෙන සිටින ගෝල ගණන 3ක්.

ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට ඊයේ ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් ක්‍රීඩාංගණය තරමක් ලිස්සන ස්වභාවයක් පෙන්නුම් කළ අතර කණ්ඩායම් දෙකම තරගය ආරම්භයේ දී ඒ හේතුවෙන් තරමක් අපහසුවෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබුණා.

තරගයේ ගෝල වාර්තා කරන්නට කණ්ඩායම් දෙකට අවස්ථා කිහිපයක් නිර්මාණය වූ නමුත් ඒ කිසිවක් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ නැහැ. ඒ අනුව පළමු අර්ධය නිමාව දුටුවේ කිසිදු ගෝලයක් වාර්තා නොවෙමිනුයි.

දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකම ජයග්‍රහණය සොයා තියුණු තරගයක නියැළුණු අතර තරගයේ ජයග්‍රහණය තීන්දු වූ ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට මොහොමඩ් මුෂ්ෆික් සමත් වුනේ 60 වැනි මිනිත්තුවේ දීයි.

ඉන්පසුව තරගය අවසන් වන තෙක් ලකුණු පුවරුව වෙනස් නොවුන අතර දකුණේ ක්‍රීඩකයින් පරාජය කරමින් අවසන් මහා තරගයට යන පළමු කඩඉම පසු කරන්නට සබරගමුව ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: දකුණු පළාත 0 – 1 සබරගමුව පළාත

ගෝල ලාභීන්:

· සබරගමුව: මොහොමඩ් මුෂ්ෆික් (60’)

අවසන් පූර්ව තරගවල පළමු අදියරේ දෙවැනි තරගය හෙට (26) උතුරු පළාත සහ නැගෙනහිර පළාත අතර සවස 3.30ට යාපනය දුරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව වටයේ දෙවැනි අදියරේ තරග පහත පරිදි පැවැත්වෙනු ඇත.

· මාර්තු 01: උතුරු පළාත සහ නැගෙනහිර පළාත – සවස 3.30 – අග්නිදිග විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී.

· මාර්තු 02: සබරගමු පළාත සහ දකුණු පළාත – සවස 3.30 – රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේ දී.

තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<