ඉතිහාසයේ නව පිටුවක් පෙරලු ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයෝ

1843
Sri Lanka v South Korea - Finals (U20 Asian 7's 2016)

ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 20න් පහල ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවක් දිනා ගනිමින් මෙරට රග්බි වංශ කතාවට රන් අකුරින් ලියැවුණු නව පිටුවක් එක් කරන්නට කෙවින් ඩික්සන් ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 20න් පහල රග්බි කණ්ඩායම අද සමත් විය.

ඒ මැලේසියාවේ පැවති, ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික තරග මාලාවේ පළමු අදියරේ ශූරතාවට හිමිකම් කියමිනුයි.

පසුගිය තරග විස්තර සඳහා පිවිසෙන්න

අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ප්‍රභල දකුණු කොරියානු කණ්ඩායමයි. ඊයේ පැවති පළමු වටයේ තරගයකදී ශ්‍රී ලංකාව පරදවන්නට සමත් වූ ජපාන කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පරාජය වුණේත් දකුණු කොරියාව හමුවේයි. කෙසේ වෙතත් ජපානය සමග තරගයේදී සිදුවුනාක් මෙන් තරගයේ ග්‍රහණය ගිලිහෙන්නට ඉඩ නොදුන් ශ්‍රී ලංකා යෞවනයින් දකුණු කොරියානුවන්ට ලකුණු 38 – 00ක අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සමත් විය.

ඔමල්ක ගුණරත්න අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නේ, පළමු මිනිත්තුවේදීම දකුණු කොරියානුවන්ගෙන් ගිලිහුණු පන්දුවක් තම සන්තකයට ගෙන වේගවත් ධාවනයකින් උත්සාහක දිනුම් රේඛාව පසු කරමිනුයි. ඉන් අනතුරුව මිනිත්තු කිහිපයක්ම පන්දුවේ අයිතිය (Possession) තමන් සන්තකයේ තබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර, නිශෝන් පෙරේරා එම වාසිය ලකුණු බවට පරිවර්තනය කළේ පිටියේ ඈත කෙලවරේ සිට උත්සාහක දිනුම් රේඛාව වෙත දැකුම්කළු ධාවනයක යෙදෙමින්.

ඡායාරූප ඇල්බමය

පළමු අර්ධයේ අවසන් භාගය තුළ බුද්ධිම පියරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසිය තවත් ඉදිරියට ගෙන යමින් කණ්ඩායමේ තුන්වන උත්සාහක දිනුමත් වාර්තා කරන ලදී. මේ අනුව පළමු අර්ධය අවසානයේ තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 21 – 00ක් ලෙසයි.

දෙවන අර්ධයේදී දකුණු කොරියානුවන් ලකුණු ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන ලදී. නමුත් ශ්‍රී ලංකා යෞවනයන් එම උත්සාහයන් ව්‍යර්ථ කලේ ප්‍රහාරාත්මක හැකියාව මෙන්ම පසුපෙළ ආරක්ෂා කරගැනීමේ හැකියාවද තමන් සතු බව ප්‍රදර්ශනය කරමිනුයි. බුද්ධිම පියරත්න, නායක කෙවින් ඩික්සන් සහ විමුක්ති රාහුල දෙවන අර්ධය තුල ලබාගත් උත්සාහක දිනුම් ද සමග මේ ඉතිහාසගත ජයග්‍රහණය විශිෂ්ට අයුරින් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා යෞවනයන්ට හැකි විය.

මැලේසියාවේ Johor Bahru හී Pasir Gudang ක්‍රීඩාංගනයේ පැවති තෙත බරිත ස්වභාවය මනාව වටහා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ තරගය පුරා මනා පාලනයකින් යුතු තරග රටාවක් අනුගමනය කරමින් ක්‍රීඩා කළ බවක් දක්නට ලැබුණි. වේගවත් සහ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් උරුම කරගත් කොරියානුවන්ට එකදු ලකුණක් හෝ වාර්තා කිරීමට ඉඩ නොලැබීම විශේෂත්වයකි.

අවසන් ලකුණු තත්ත්වය

ශ්‍රී ලංකාව 38 (උත්සාහක දිනුම් 6, ප්‍රවර්ථන 4) – දකුණු කොරියාව 00

උත්සාහක දිනුම් – (ශ්‍රී ලංකාව) – බුද්ධිම පියරත්න (2), ඔමල්ක ගුණරත්න, නිශෝන් පෙරේරා, කෙවින් ඩික්සන්, විමුක්ති රාහුල.

ප්‍රවර්ථන – (ශ්‍රී ලංකාව) කෙවින් ඩික්සන් (2), ශම්රි බූරා, බුද්ධිම පියරත්න

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී සත්කාරක මැලේසියානු කණ්ඩායම පරාජය කරමිනුයි. මේ තරගයේ මුල් මිනිත්තු කිහිපය තුල උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට අභියෝග කරන්නට සත්කාරකයන් සමත් විය. නමුත් නායක කෙවින් ඩික්සන්ගේ විශිෂ්ට උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් සවිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය ලකුණු 29 -14ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

ඩික්සන්ට අමතරව නිශෝන් පෙරේරා සහ රීසා රෆායිඩීන් ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහල දැමීමට දායක විය.

ජපානය හමුවේ ප්‍රබල සටනකින් පසු පරාජයේ වේදනාවත් සමග ඊයේ දිනය අවසන් කළ ශ්‍රී ලංකා යෞවනයන් අද දවසට සුපිරි ආරම්භයක් ලබා ගන්නට සමත් විය. ඒ පළමු වටයේ අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 45 – 05ක දැවැන්ත ජයක් වාර්තා කරමිනුයි.

මේ තරගයේදීත් අරාබි එමීර් ක්‍රීඩකයන් තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කලේ 3 වන මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කරමිනුයි. පසුගිය වසරේ පාසල් තරග වාරයේ ඉහලම ලකුණු ලාභියා වූ බුද්ධිම පියරත්න උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරද්දී, චාමික කුසල් සහ ඔමල්ක ගුණරත්නගේ ද සහය ඇතිව ලකුණු 45ක් රැස් කළේ ලකුණු 45 – 05ක ජයග්‍රහණයක් වෙත මග විවර කරමිනුයි. මේ අනුව පළමු වටය ජපානයට පමණක් දෙවැනි වෙමින් අවසන් කරන්නට ශ්‍රී ලංකා යෞවනයන්ට හැකි විය.

කෙසේ වෙතත් කිසිවෙකුටත් දෙවැනි නොවෙමින් ආසියානු 20න් පහල සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියර අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, අදියර 2කින් යුක්ත වූ මේ තරග මාලාවේ සමස්ථ ශූරතාව දිනා ගැනීම සඳහා වැඩි අවස්තාවක් හිමි කරගෙන සිටියි. තවත් දෙසතියකින් හොංකොං හීදී පැවැත්වෙන දෙවන අදියරේදී ලබා ගන්නා ප්‍රසාද ලකුණු ද මේ තරගාවලියේ ප්‍රතිඵල සමගින් එක්කර 2016 ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ථ ශූරතාවයේ හිමිකරුවන් තීරණය කෙරෙනු ඇති.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට